CDB ක්‍රෙඩිට් කාඩ්පත් – නිතර අසන ප්‍රශ්න

ප්‍ර: මට කොපමණ කාලසීමාවක් සඳහා පොලී රහිත ණය පහසුකම් ලැබෙනවාද?

පි: පසුගිය මාසයේ ගිණුම් ප්‍රකාශයෙහි සඳහන් සම්පූර්ණ හිඟ මුදල නියමිත දින වනවිට ගෙවා ඇත්නම්, ඔබට දින 55 ක පොලී රහිත ණය කාලසීමාවක් හිමි වේ.

ප්‍ර: මගේ ක්‍රෙඩිට් කාඩ්පතේ හිඟ මුදල සඳහා මට කොපමණ පොලී/ගාස්තු ගෙවීමට සිදුවනවාද?

පි: මුදල් අත්තිකාරම් ඇතුළුව සියලුම මිලදී ගැනීම් සහ ගනුදෙනු සඳහා 2.33% ක මාසික (28% ක වාර්ෂික) පොලියක් අදාළ වේ. ගෙවිය යුතු දිනට පෙර සම්පූර්ණ හිඟ මුදල නොගෙවන ලද්දේ නම් හෝ, නියමිත දින දිනට පෙර අර්ධ ගෙවීමක්/ අවම මුදල පමණක් ගෙවන ලද්දේ නම් හෝ, නියමිත දිනයෙන් පසුව ගෙවීම සිදුකරන්නේ ලද්දේ නම් පොලිය අය කෙරේ.

ප්‍ර: මුදල් ලබාගැනීම් සඳහා අයකෙරෙන ගාස්තුව කුමක්ද?

පි: ලබාගත් මුදලින් 5% ක් හෝ රු. 1000 යන දෙකෙන් ඉහළ වටිනාකම අය කෙරේ.

ප්‍ර: මුදල් ලබාගැනීමේ සීමාව කුමක්ද?

පි: Standard, Gold, Titanium සහ Platinum ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග සඳහා කාඩ්පත් සීමාවෙන් 20% ක් වන අතර, World Card වර්ගයේ කාඩ්පත් සඳහා කාඩ්පත් සීමාවෙන් 10% කි.

ප්‍ර: අවම ගෙවීම ලෙස ගෙවිය යුතු මුදල කොපමණද?

පි: සම්පූර්ණ හිඟ මුදලින් 5% ක්.

ප්‍ර: ගෙවීම් ප්‍රමාද වුවහොත් අයකෙරෙන ගාස්තුව කොපමණද?

පි: ප්‍රමාද ගෙවීම් ගාස්තුව(Late payment charge), ගාස්තු(Tariff) අනුව අදාළ වේ

ප්‍ර: ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ ගෙවීම් කළ යුතු අවසන් දිනය සහ බිල්පත් කාලසීමාව වෙනස් කළ හැකිද?

පි: වෙනස් කළ හැක. ඒ සඳහා, පැය 24 පුරා ක්‍රියාත්මක වන අපගේ පාරිභෝගික සහය සේවාව අමතා ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු ය.

ප්‍ර: ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ අවම සීමාව ඉක්මවා වියදම් කරන ලද්දේ නම් ඒ සඳහා අයකෙරෙන ගාස්තුව කුමක්ද?

පි: සීමාව ඉක්මවා සිදු කරන ගෙවීම සඳහා වන අයකිරීම, ගාස්තු(Tariff)අනුව අදාළ වේ

ප්‍ර: මට ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ ගිණුම් ප්‍රකාශය ලැබෙන්නේ කෙසේද? / කොපමණ කාලයකට වරක්ද?

පි: සෑම මසකම 15 වන දින සහ අවසන් දින වශයෙන් බිල්පත් වාර දෙකක් ක්‍රියාත්මක වේ. ඔබට අවශ්‍ය පරිදි තැපැල් මගින් හෝ ඊමේල් මගින් ගිණුම් ප්‍රකාශය ගෙන්වාගත හැක.

ප්‍ර: ප්‍රමාද නොවී ගෙවීම් කිරීම වැදගත් වන්නේ ඇයි?

පි: අපි ඔබේ ණය සීමාව වරින් වර සමාලෝචනය කර, අවශ්‍ය නම් එය ඉහළ නැංවීමට කටයුතු කරන්නෙමු. නිතර කාඩ්පත භාවිතා කිරීම සහ නියමිත වේලාවට ගෙවීම් සිදුකිරීම මගින් මෙම ස්වයංක්‍රීය ණය සීමාව ඉහළ නැංවීම් සඳහා ඔබ සුදුසුකම් ලබයි. කාඩ්පත නිතර භාවිතා නොකිරීම, ලබා දී ඇති ණය සීමාවට වඩා අඩුවෙන් භාවිතා කිරීම, සහ ගෙවීම් ප්‍රමාද කිරීම මගින් ණය සීමාව ස්වයංක්‍රීයව අඩු වීමට ඉඩ ඇත. ඔබේ ගිණුම් ප්‍රකාශයේ විශේෂ සටහන් ඔස්සේ ඔබට මෙවැනි වෙනස්කම් දැනුම් දෙනු ලැබේ.

නියමිත දිනට අවම මුදල නොගෙවන්නේ නම් ගිණුම “Delinquent” ලෙස වර්ගීකරණය කරන බව කරුණාවෙන් සලකන්න. ගෙවීම් ප්‍රමාද කිරීම හෝ නියමිත සීමාව ඉක්මවා වියදම් කිරීම මගින් ඔබගේ ගනුදෙනු ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත. මෙමගින් ඔබගේ ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහිද අහිතකර බලපෑම් එල්ල විය හැකි අතර, ණය සීමාව ඉහළ නැංවීම සඳහා වන පසුකාලීන ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමටද එය හේතුවක් විය හැක. පවතින රෙගුලාසි අනුව ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු නිතිපතා ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා කෙරේ. මෙය සියලුම බැංකු සහ මූල්‍ය ආයතන මගින් සිදුකරනු ලබන්නකි.

ප්‍ර: මගේ CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කරනු ලැබුවහොත්, අස්ථානගත වුවහොත් හෝ හානි වුවහොත් මා කළ යුත්තේ කුමක්ද?

පි: ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත අස්ථානගත වුවහොත් හෝ එයට හානි සිදුවුවහොත්, කරුණාකර:

  • අස්ථානගත වීම/ හානි වීම වහාම CDB ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂණික ඇමතුම් අංකය වෙත දන්වන්න.
  • CDB ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ CDB ශාඛාවකින් නව කාඩ්පතක් ඉල්ලා සිටින්න.
  • කාඩ්පත නැති වූ බවට වාර්තා කළ පසු එය නැවත හමු වුවහොත්, එය භාවිතා කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න.
  • නැවත හමු වූ CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත කැබලි කිහිපයකට කපා ඒ බව CDB ආයතනය වෙත දන්වන්න.
  • නව කාඩ්පත දින 10 ක් ඇතුළත කුරියර් සේවාවක් හරහා ඔබ වෙත ලැබෙනු ඇත.

ප්‍ර: මගේ CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත අවලංගු කළ හැක්කේ කෙසේද?

පි: ඔබට ක්‍රෙඩිට් කාඩ්පත අවලංගු කිරීමට අවශ්‍ය නම් පහත සඳහන් පියවර අනුගමනය කරන්න.

  • අවලංගු කිරීමට හේතුව දක්වමින්, ඒ සඳහා වන ලිඛිත ඉල්ලීමක්, කාඩ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරුට ආමන්ත්‍රණය යොදා CDB ශාඛාවක් හරහා හෝ තැපැල් මගින් යොමුකරන්න.
  • ගෙවිය යුතු මුළු මුදල ගෙවා අවසන් කළ යුතු අතර, එසේ කිරීමෙන් අනතුරුව රාජකාරි දින 3 ක් ඇතුළත කාඩ්පත අවලංගු කෙරේ.

ප්‍ර: පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?

පි: කරුණාකර අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. රාජකාරි දින තුනක් ඇතුළත අපි ඔබගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නෙමු.