CDB ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධ නියමයන් හා කොන්දේසි

අර්ථදැක්වීම

මෙම කොන්දේසි තුළ අදාළ ස්ථාන වල ‘මෙම ගිවිසුම’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්ථාපිත කරන ලද (ලියාපදිංචි අංක PB 232 PQ දරන) සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (මෙතැන් සිට CDB ලෙස හඳුන්වනු ලබන) සහ කාඩ්පත් හිමියා අතර ඇතිකරගනු ලබන ගිවිසුම වන අතර, මීට අදාළ කොන්දේසි වරින් වර වෙනස් වීමට ඉඩ තිබේ. ‘කාඩ්පත’ යනු CDB විසින් ප්‍රධාන කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා වෙත නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් ය. ‘ප්‍රධාන කාඩ්පත් හිමියා’ යන්නෙන්, කාඩ්පත් ගිණුමේ ගිණුම් හිමියා ලෙස නම සඳහන් පුද්ගලයා, ඔහුගේ/ඇයගේ උරුමකරුවන්, හෝ ඒ වෙනුවෙන් පත්කරන ලද නිසි බලධාරීන් හෝ පරිපාලකයන් අදහස් වේ. පරිපූරක කාඩ්පත් හිමියා යනු, ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් කාඩ්පත් ගනුදෙනු සිදුකිරීම සඳහා අවසරය ලබා දී ඇති පුද්ගලයා, ඔහුගේ/ඇයගේ උරුමකරුවන්, හෝ ඒ වෙනුවෙන් පත්කරන ලද නිසි බලධාරීන් හෝ පරිපාලකයන් ය. ‘කාඩ්පත් ගිණුම’ යනු කාඩ්පත් ගනුදෙනු සඳහා CDB හි විවෘත කර ඇති, එහි කාඩ්පත් මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන ගිණුමකි. ‘කාඩ්පත් මධ්‍යස්ථානය’ යන්නෙන්, අංක 123, ඔරාබි පාෂා මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි CDB ප්‍රධාන කාර්යාලයෙහි පිහිටි කාඩ්පත් අංශය අදහස් වේ.

‘කාඩ්පත් හිමියා’ යනු මෙම ගිවිසුමේ නියමයන්ට අනුකූලව CDB විසින් ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරනු ලබන ඕනෑම පුද්ගලයෙකි. මීට ප්‍රධාන කාඩ්පත් හිමියා, පරිපූරක කාඩ්පත් හිමියා, ඔහුගේ/ඇයගේ උරුමකරුවන්, පත්කරන ලද නිසි බලධාරීන් හෝ පරිපාලකයන්ද ඇතුළත් වේ. ‘කාඩ්පත් ගනුදෙනු’ යනු භාණ්ඩ හෝ සේවා සැපයීම සඳහා ඕනෑම අලෙවිකරුවෙකු වෙත සිදුකරනු ලබන ගෙවීමක් හෝ කාඩ්පත් අංකය භාවිතයෙන් ලබා ගන්නා මුදල් අත්තිකාරම් හෝ කාඩ්පත් ගිණුම හර කිරීම සඳහා කාඩ්පත් හිමියා විසින් බලය පවරා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හර කිරීමකි. කාඩ්පත් හිමියාගේ සැමියා/ බිරිඳ, අවුරුදු 18 ට වැඩි යැපෙන දරුවන්, හෝ කාඩ්පත් හිමියාගේ දෙමාපියන් ‘ළඟම පවුලේ සාමාජිකයන්’ යන්නෙන් අදහස් වේ. ‘අලෙවිකරු’ යනු කාඩ්පත පිළිගෙන භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීම සඳහා CDB විසින් පිළිගන්නා ලද පුද්ගලයෙකු, ආයතනයක්, සමාගමක් හෝ සංවිධානයකි. ‘කාඩ්පත් සීමාව’ යනු CDB විසින් කලින් කලට තීරණය කර කාඩ්පත් හිමියා වෙත දන්වනු ලබන, කාඩ්පත් ගිණුමෙන් ලබාගත හැකි උපරිම ණය සීමාවයි. ‘PIN අංකය’ යනු කාඩ්පත් හිමියා වෙත නිකුත් කරනු ලබන රහසිගත පෞද්ගලික අනන්‍යතා අංකයයි. ‘ගෙවීම් කළ යුතු දිනය’ යනු කාඩ්පත් හිමියා විසින් CDB වෙත ගෙවිය යුතු සියලු ගෙවීම් හෝ අවම ගෙවීම සිදුකිරීම සඳහා ලබා දී ඇති අවසන් දිනයයි. මෙම දිනය CDB මගින් මාසිකව තීරණය කර, ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත දැනුම් දෙනු ලැබේ. ‘ATM’ යනු ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය වන අතර එය ක්‍රෙඩිට් කාඩ්පත පිළිගෙන මුදල් අත්තිකාරම් ලබාදෙයි.

කාඩ්පත

  • කාඩ්පත CDB සතු දේපළක් වන අතර, ආපසු ඉල්ලා සිටි අවස්ථාවකදී කාඩ්පත් හිමියා විසින් වහාම එය CDB වෙත භාරදෙනු ලැබිය යුතු ය.
  • CDB සමාගමට තම අභිමතය පරිදි කල්තබා දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක කාඩ්පත හෝ කාඩ්පත භාවිතා කිරීමට හෝ කාඩ්පතේ යම් යම් පහසුකම් භාවිතා කිරීමට කාඩ්පත් හිමියා සතු අයිතිය අවලංගු කිරීමට හෝ කාඩ්පත නැවත නිකුත් කිරීම, අලුත් කිරීම හෝ කාඩ්පත වෙනුවට වෙනත් කාඩ්පතක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත. එමගින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා සතු වගකීම් වලට බලපෑමක් නොවන අතර ගිවිසුම අඛණ්ඩව බලාත්මකව පවතී. කාඩ්පත් හිමියා ස්වේච්ඡාවෙන් කාඩ්පත ආපසු භාරදෙන අවස්ථාවකදී, කාඩ්පත් හිමියා විසින් සපුරාලනු ලැබිය යුතු කරුණු CDB ආයතනය තෘප්තිමත් වන ආකාරයට සපුරාලන තෙක් මෙම ගිවිසුම බලාත්මකව පවතිනු ඇත.

කාඩ්පත සහ PIN අංකය ලබාගැනීම සහ භාවිතා කිරීම

  • කාඩ්පත් හිමියා කාඩ්පත ලැබුණු වහාම එහි පසුපස තම අත්සන තැබිය යුතු අතර, වෙනත් පුද්ගලයෙකුට කාඩ්පත භාවිතා කිරීමට අවසර ලබා නොදිය යුතු ය. එමෙන්ම කාඩ්පත තමන් භාරයේ පවතින තාක් කල් එය ආරක්ෂා කරගැනීමට කාඩ්පත් හිමියා වගබලාගත යුතු ය.
  • කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් වෙත කූරියර් සේවාවක් මගින් කාඩ්පත යවන ලද අවස්ථාවකදී, එය ලැබුණු වහාම එය ලැබුණු බව තහවුරු කිරීමටත්, තම අනන්‍යතාව ඉදිරිපත් කිරීමටත් ඔවුන් පියවර ගත යුතු ය. කාඩ්පත් හිමියාට හෝ පරිපූරක කාඩ්පත් හිමියාට/ හිමියන්ට අවශ්‍ය නම්, තමන් වෙනුවෙන් කාඩ්පත භාරගැනීම සඳහා වෙනත් කෙනෙකුට ලිඛිතව අවසර ලබාදිය හැකි අතර, කාඩ්පත් හිමියා, පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් හෝ අදාළ අවසර ලත් පුද්ගලයා විසින් කාඩ්පත ලබාගත් පසුව ඇතිවන සියලුම ගාස්තු වලට කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් වගකිව යුතු වේ. CDB ආයතනය තම අභිමතය පරිදි, කාඩ්පත් හිමියාගේ නියෝජිතයෙකු වෙත කාඩ්පත් ගෙනගොස් භාරදීම සඳහා, ආයතනය මගින් තීරණය කරනු ලබන තුන්වන පාර්ශවයක් හෝ එහි නියෝජිතයන් වෙත භාරදීමට ඉඩ තිබේ. කාඩ්පත භාරදුන් පසුව ඇතිවන සියලුම ගාස්තු වලට කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් වගකිව යුතු ය.
  • PIN අංකය CDB ආයතනයේ අභිමතය පරිදි කාඩ්පත් හිමියා/ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් වෙත ගෙනගොස් භාරදීම, ලියාපදිංචි තැපැල් මගින් යැවීම හෝ කුරියර් සේවාවක් හරහා යැවීම සිදුකිරීමට ඉඩ ඇත. පිළිගත හැකි කාලසීමාවක් තුළ එය භාර නොදුන් බවට තැපැල් දෙපාර්තුමේන්තුව හෝ කුරියර් සේවාව මගින් දැනුම් දීමක් කර නොමැති නම්, අදාළ රහස්‍ය අංකය හෙවත් PIN අංකය කාඩ්පත් හිමියා/ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් වෙත ලැබුණු ලෙස සලකනු ලැබේ. PIN අංකය කාඩ්පත් හිමියා/ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් සතු දේපළක් වන අතර, එහි ආරක්ෂාව තහවුරු කිරීමට සහ වෙනත් පාර්ශ්වයන් වෙත ආවරණය නොවීමට කාඩ්පත් හිමියා/ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් හැකි සෑම පියවරක්ම ගත යුතු ය.
  • කිසියම් ගනුදෙනුවක් කාඩ්පත් හිමියා/ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් විසින් සිදුකරන ලද බව විශ්වාස කිරීමට සාධාරණ සාක්ෂි ඇත්නම්, මතභේදාත්මක ගනුදෙනු වලට අදාළ වියදම් සහ ඒ සම්බන්ධ අනෙකුත් ගාස්තු ආදිය කාඩ්පත් හිමියා/ පරිපූරක කාඩ්පත් හිමියා/ හිමියන් වෙතින් අයකර ගැනීමට CDB ආයතනයට අයිතිය ඇත.
  • කාඩ්පත කිසිදු අවස්ථාවක නීතිවිරෝධී අරමුණු සඳහා භාවිතා නොකළ යුතු ය.

කාඩ්පත ගිණුම

  • කාඩ්පත් ගනුදෙනු සියල්ලෙහි වටිනාකම්, CDB ආයතනයට දැරීමට සිදුවූ නීතිමය ගාස්තු සහ අනෙකුත් සියලුම පරිපාලන වියදම් ඇතුළුව කාඩ්පත් හිමියා විසින් වගකියනු ලැබිය ලැබිය යුතු අනෙකුත් සියලුම වියදම්, සහ කාඩ්පත භාවිතය නිසා CDB ආයතනයට සිදු වූ අලාභයන් ඇතුළුව කාඩ්පත භාවිතය නිසා ඇතිවන සියලුම වියදම් කාඩ්පත් ගිණුමෙන් හර කර ගැනීමට CDB ආයතනය කටයුතු කරනු ඇත.
  • විකුණුම් හෝ මුදල් අත්තිකාරම් වවුචරයක් කාඩ්පත් හිමියා විසින් අත්සන් කර තිබුණද නැතද, හර වූ සියලු වියදම් CDB වෙත ගෙවීමට කාඩ්පත් හිමියා බැඳී සිටී.
  • අයදුම්පතෙහි දක්වා තිබූ ලිපිනයට හෝ, ගෙවීම් සිදුකළ යුතු දිනයට දින 14 කට පෙර කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලිඛිතව දන්වන ලද වෙනත් ලිපිනයකට, මාසිකව ගිණුම් ප්‍රකාශයක් ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත යැවීමට CDB කටයුතු කරනු ඇත.
  • ගෙවීම් සිදුකළ යුතු දිනයට පෙර කාඩ්පත් හිමියා ගෙවිය යුතු අවම මුදල හෝ ගෙවීමට කටයුතු කළ යුතු ය. ගෙවිය යුතු අවම මුදල, ගෙවිය යුතු මුළු මුදල ලෙස මාසික ගිණුම් ප්‍රකාශයෙහි දක්වා ඇති මුදලින් 5% ක් හෝ, එම ප්‍රකාශයෙහි ගෙවිය යුතු අවම මුදල ලෙස දක්වා ඇති මුදල වේ. ගිණුම් ප්‍රකාශයේ දිනයේ දී, අදාළ මුළු හිඟ මුදල ණය සීමාව ඉක්මවා ඇත්නම්, අවම ගෙවීම වනුයේ ණය සීමාව ඉක්මවා ඇති අතිරික්ත මුදල සහ හිඟ ශේෂයේ 5% ක එකතුවයි.
  • ප්‍රධාන කාඩ්පත් හිමියා බංකොලොත්භාවය ප්‍රකාශ කරන්නේ නම්, ඔහුගේ/ ඇයගේ මරණය සිදු වී ඇත්නම් හෝ කාඩ්පත් හිමියා විසින් මෙම ගිවිසුම උල්ලංඝනය කර ඇති බව CDB විසින් තීරණය කරනු ලබන්නේ නම්, මෙම ගිවිසුම යටතේ ගෙවිය යුතු වන හිඟ මුදල් සියල්ල වහාම ගෙවා අවසන් කළ යුතු ය.
  • CDB වෙත කරන ලද ඕනෑම ගෙවීමක් බලාත්මක වන්නේ එම ගෙවීම කාඩ්පත් ගිණුමට බැර කළ විට පමණි.

ක්‍රෙඩිට් කාඩ් බිල්පත් සහ ගෙවීම්

  • පොලිය ගණනය කිරීම සහ ගෙවීම් සිදුකළ යුතු දිනය තීරණය කිරීම සඳහා CDB විසින් බිල්පත් කාලසීමාව අවසානයේදී (CDB විසින් තම අභිමතය පරිදි තෝරාගනු ලබන ආකාරයට, සෑම මාසයකම නිශ්චිත දිනයකදී) ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත මාසිකව ගිණුම් ප්‍රකාශයක් එවනු ලබනු ඇත. බිල්පත් කාලසීමාව තුළ ප්‍රධාන කාඩ්පත් හිමියා සහ/ හෝ පරිපූරක කාඩ්පත් හිමියා විසින් සිදුකරන ලද කාඩ්පත් ගනුදෙනු, ඊට පෙර නිකුත් කළ ගිණුම් ප්‍රකාශයේ සිට ඉදිරියට ගෙන ආ, ගෙවීමට ඇති මුළු මුදල, බිල්පත් කාලසීමාව තුළ කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලැබුණු ගෙවීම්, බිල්පත් කාලසීමාව අවසානයේදී කාඩ්පත් හිමියා විසින් ගෙවිය යුතු මුළු හිඟ මුදල, සමස්ත හිඟ මුදලින් කාඩ්පත් හිමියා විසින් ගෙවනු ලැබිය යුතු අවම මුදල සහ ගෙවීම් සිදුකළ යුතු දිනය යනාදී තොරතුරු ඊට ඇතුළත් වේ.
  • ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත මාසික ගිණුම් ප්‍රකාශය නොලැබුණේ නම්, ඒ බව බිල්පත් කාලසීමාව අවසන් වීමෙන් දින 10 ක කාලයක් ඇතුළත CDB කාඩ්පත් මධ්‍යස්ථානය වෙත දැනුම් දීම ඔහුගේ/ ඇයගේ වගකීමකි.
  • මාසික ගිණුම් ප්‍රකාශය නොලැබීම යනු, ගෙවීම් සිදුකළ යුතු දිනයට පෙර CDB වෙත ගෙවිය යුතු මුදල ගෙවීමේ වගකීමෙන් කාඩ්පත් හිමියා නිදහස් කරන සාධකයක් නොවේ.
  • කාඩ්පත් හිමියා විසින් කාඩ්පත් ගිණුම සඳහා CDB වෙත සිදු කරන ලද ගෙවීම් අදාළ වන්නේ එම ගෙවීම කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලැබුණු විට හෝ කාඩ්පත් හිමියා CDB උදෙසා දරන අනෙකුත් වැය වගකීම් හරහා ලැබුන විටදී පමණක් වන අතර මෙම නියමයන් සහ කොන්දේසි යටතේ ඒ පිලිබඳ තීරණය කිරීම CDB සතුය.
  • ඕනෑම CDB ශාඛාවක ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යන කාඩ්පත් හිමියෙකුට, ගෙවීම් කළ යුතු අවසන් දිනයට පෙර නිශ්චිත මුදලක් කාඩ්පත් ගිණුම වෙත බැර කිරීම සඳහා, අදාළ ඉතුරුම් ගිණුමෙන් හර වන ආකාරයට සෘජු ස්ථාවර නියෝගයක් ලබාදිය හැකි වේ. එවැනි ස්ථාවර නියෝගයක් සංශෝධනය කරන්නේ නම් හෝ අවලංගු කරන්නේ නම්, ඒ සඳහා වන දැනුම්දීම ඊළඟ ගෙවීම සිදුකිරීමට නියමිත දිනයට අවම වශයෙන් සති දෙකකට පෙර කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලැබෙන පරිදි යොමුකළ යුතු ය.
  • කාඩ්පත් ගිණුමට අදාළව නිකුත් කරන ලද ගිණුම් ප්‍රකාශය කාඩ්පත් හිමියා පරීක්ෂා කර බැලිය යුතු අතර, එහි කිසියම් දෝෂයක් වේ නම් ප්‍රකාශිත දිනයේ සිට දින 14 ක් ඇතුළත CDB කාඩ්පත් මධ්‍යස්ථානයට ඒ බව දැනුම් දිය යුතු ය. එබඳු දෝෂයක් දින 14 ක් තුළ වාර්තා කිරීමට කාඩ්පත් හිමියා අපොහොසත් වේ නම් හෝ නොසලකා හරින්නේ නම්, අදාළ ගිණුම් ප්‍රකාශය සහ එහි සඳහන් සියලුම කරුණු සම්බන්ධ වගකීම් කාඩ්පත් හිමියා වෙත පැවරෙන අතර, එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇති ලෙස සලකනු ලබන බැවින්, ඉන් ඉදිරියට අදාළ ගිණුම් ප්‍රකාශනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ගිණුම් හිමියා විරුද්ධත්වයක් පළ නොකළ යුතු ය. සියලු ගිණුම් ප්‍රකාශයන්, ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් අවසන් වරට ලිඛිතව CDB වෙත ලබා දී ඇති ලිපිනයට තැපැල් මගින් යවනු ලබන අතර, තැපැල් කිරීමෙන් පැය 24 කට පසුව ඒවා ලැබුණු ලෙස සලකනු ලැබේ. කාඩ්පත් ගිණුම සම්බන්ධ පැමිණිලි වේ නම් CDB ක්ෂණික ඇමතුම් අංක වන 0117 121121 (Platinum/World) සහ 0117121122 (Standard/Gold/Titanium) ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත හෝ ලිඛිතව ඉදිරිපත් කළ යුතු ය.
  • විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී හෝ ශ්‍රී ලංකා රුපියල් නැවත විදේශයකට පරිවර්තනය කිරීමේදී අදාළ විනිමය හෝ ප්‍රති-විනිමය අනුපාත තීරණය කරන හෝ අදාළ වන පරිදි කාඩ්පත් හිමියා ඔහු/ඇය සහ CDB අතර තිබු අවසන් තීරණය පිළිගත යුතුය. මුදල් වර්ග හෝ ගෙවීමේ මුදල් සහ ගිණුමේ රඳා පවතින මුදල් සහ CDB වෙත කාඩ්පත් හිමියාගේ අවසාන වැය වගකීම ශ්‍රී ලංකා රුපියල් වලින් විය යුතුය.
  • කිසියම් මුදල් වර්ගයක් වෙනත් මුදල් වර්ගයකට පරිවර්තනය කිරීමේදී කිසිදු විනිමය අලාභයක් CDB වෙත සිදු නොවිය යුතු අතර, CDB වෙත සිදුවන එවැනි අලාභයක් වේ නම් එය පියවීමේ වගකීම කාඩ්පත් හිමියා භාරගනී. ‘විනිමය අලාභය’ යනු මුදල් ඒකකවල සිදුවන වෙනස්කම් හෝ අවප්‍රමාණය වීම් හේතුවෙන් CDB හෝ එහි නියෝජිතයන්ට සිදු වන අලාභයකි.
  • මෙම ගිවිසුමේ වෙනත් විධිවිධාන වලට බලපෑමකින් තොරව, කාඩ්පත් හිමියා මාසයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින්නේ නම්, එලෙස ශ්‍රී ලංකාවෙන් පිටත් වී යාමට පෙර, කාඩ්පත් ගිණුමට අදාළ හිඟ මුදල් පියවීම සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලබාදිය යුතු ය. එවැනි දැනුම් දීමක් නිසි පරිදි සිදුකර නොමැති නම්, කාඩ්පත අවලංගු කිරීමේ අයිතිය CDB සතු වේ.
  • කාඩ්පත් හිමියාගේ මරණයෙන් අනතුරුව, කාඩ්පත් හිමියා සම්බන්ධ කටයුතු පරිපාලනය කිරීම සඳහා බලය හිමි පුද්ගලයන්, නෛතික නියෝජිතයන් හෝ උරුම හිමි ඥාතීන් විසින්, කාඩ්පත් ගිණුමට අදාළ සියලු හිඟ මුදල් ගෙවිය යුතු වන බවට කාඩ්පත් හිමියා මින් එකඟ වේ.

ගාස්තු

    • කාඩ්පත සඳහා ආරම්භක ගාස්තුවක් සහ වාර්ෂික ගාස්තුවක් ගෙවීමට කාඩ්පත් හිමියා එකඟ වේ. අදාළ ගාස්තු ගෙවිය යුතු අවස්ථාව වන විට එය කාඩ්පත් ගිණුමින් හර වනු ඇත.
    • කාඩ්පත් ගිණුම් ප්‍රකාශ වල පිටපත් සම්බන්ධ ගාස්තුවක්, CDB විසින් තීරණය කරනු ලබන අනුපාතයකට අනුව, කාඩ්පත් ගිණුමින් හර වනු ඇත.
    • කාඩ්පත් හිමියා විසින් ගෙවිය යුතු මුළු හිඟ මුදල ගෙවීමට නියමිත දිනට නොගෙවන්නේ නම්, කාඩ්පත් ගිණුම් ප්‍රකාශයේ සඳහන් ආකාරයට, CDB විසින් තීරණය කරනු ලබන අනුපාතයකට අනුව, අදාළ ගනුදෙනු වල පසු දිනයන්හි සිට හිඟ මුදල් මත ගණනය කර පොලියක් අයකෙරෙනු ඇත.
    • ගෙවීම් කළ යුතු දිනයේදී අදාළ මුළු හිඟ මුදල ගෙවා අවසන් කරන්නේ නම්, අදාළ ණය සීමාව දක්වා වන හිඟ මුදලට පොලියක් අය නොකෙරේ. කෙසේ වුවද, ගෙවිය යුතු මුළු හිඟ ශේෂය ගෙවීමට නියමිත දිනට ආපසු ගෙවනු ලැබුවද, ඉන් පසුව සිදුකරන ලද ගනුදෙනු / ගාස්තු සම්බන්ධයෙන් CDB විසින් තීරණය කරනු ලබන මාසික අනුපාතයක් යටතේ දෛනික පදනමින් පොලියක් අයකරනු ලැබේ.
    • ගෙවිය යුතු අවම මුදල නියමිත දිනට ගෙවීමට කාඩ්පත් හිමියා අපොහොසත් වන්නේ නම් ප්‍රමාද ගාස්තුවක් අයකෙරෙන අතර එම මුදල කාඩ්පත් ගිණුමට හර කෙරේ. CDB විසින් කලින් කලට ගනු ලබන තීරණ වලට අනුව මෙම ගාස්තු වෙනස් වනු ඇත.

කාඩ්පත් හිමියා හෝ වෙනත් පාර්ශ්වයක් විසින් CDB වෙත ඉදිරිපත් කරන ලද චෙක්පතක් හෝ වෙනත් ගෙවීම් නියෝගයක් කුමන හේතුවක් නිසා හෝ පිළිගනු නොලැබුවහොත්, CDB විසින් කාඩ්පත් හිමියාගෙන් ගාස්තුවක් අය කර කාඩ්පත් ගිණුමින් හර කරනු ලැබේ. මෙම ගාස්තුව අයකෙරෙනුයේ CDB මගින් අයකරනු ලැබීමට ඉඩ ඇති තැපැල් ගාස්තු වලට අමතරව ය. CDB විසින් කලින් කලට තීරණය කරනු ලබන වෙනස්කම් අනුව මෙම ගාස්තු වෙනස් වනු ඇත.

  • CDB විසින් තීරණය කර කලින් කලට දැනුම් දෙනු ලබන අනුපාතයන්ට අනුව, සියලුම මුදල් අත්තිකාරම් සඳහා ගාස්තුවක් සහ/ හෝ හැසිරවීම් ගාස්තුවක් අයකරනු ලබන අතර, එම ගාස්තුව කාඩ්පත් ගිණුමට හර කෙරෙනු ඇත.
  • අ) බිල්පත් කාලසීමාව තුළ ඕනෑම අවස්ථාවක අදාළ ණය සීමාව ඉක්මවා ගියේ නම්, CDB විසින් තීරණය කරනු ලබන වෙනස්කම් වලට යටත්ව අතිරික්ත සීමා ගාස්තුවක් අයකෙරෙන අතර එය කාඩ්පත් ගිණුමට හර වනු ඇත.
  • ආ) ණය සීමාව ඉක්මවා ගොස් තිබේද යන්න තීරණය කිරීමේදී, ගාස්තු ලෙස කාඩ්පත් ගිණුමට හර කරන ලද ඕනෑම මුදලක්ද සලකා බලනු ලැබේ.
  • ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වලදී සිදුකරනු ලබන සියලුම ඉන්ධන සහ අනෙකුත් සැපයුම් මිලදී ගැනීම් අධිභාරයකට යටත් වන අතර එය CDB විසින් තීරණය කරනු ලබන අනුපාතයේ වෙනස්වීම්වලට යටත්ව, භාණ්ඩ වටිනාකමින් 2.0% ක අනුපාතයකින් කාඩ්පත් ගිණුමට හර කරනු ලැබේ.
  • විදේශ ගනුදෙනු සඳහා මුද්දර ගාස්තු අයකෙරේ. රජයේ නීති හා රෙගුලාසි වලට අනුව, පරිපූරක කාඩ්පත් හිමියන් වෙත නිකුත් කරනු ලබන කාඩ්පත් ඇතුළුව සියලුම කාඩ්පත් භාවිතයෙන් සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ව්‍යවස්ථාපිත ගාස්තු හෝ බදු අයකෙරෙන අතර, මෙම ගාස්තු හා බදු කාඩ්පත් හිමියාට කල්තබා දැනුම් දීමකින් තොරව කලින් කලට වෙනස් වීමට ඉඩ ඇත.
  • ඕනෑම හේතුවක් නිසා දැනට පවතින කාඩ්පත වෙනුවට නව කාඩ්පතක් නිකුත් කිරීමට සිදුවන අවස්ථාවකදී, CDB විසින් තීරණය කරනු ලබන අනුපාතයකට ප්‍රතිස්ථාපන කාඩ්පත් ගාස්තුවක් ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත දැනුම් දෙනු ලබන අතර එම ගාස්තුව එම කාඩ්පත් ගිණුමට හර කෙරේ.
  • කාඩ්පත් හිමියා කාඩ්පත් ගිණුමට මුදල් බැර කළ විට, සෑම ගිණුම් ප්‍රකාශයකට අදාළ හිඟ මුදල් වන ව්‍යවස්ථාපිත ගාස්තු, ගෙවීම්, CDB වෙත අයවිය යුතු ගාස්තු, සහ කාඩ්පත් හිමියා විසින් ලබාගන්නා ලද අත්තිකාරම් මුදල් ආදිය මුලින් අයකර ගැනෙන අතර, ඉන් අනතුරුව ඉතිරි වන ශේෂය පමණක්, කාඩ්පත් හිමියා කාඩ්පත භාවිතයෙන් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධ හිඟ මුදල් පියවීම සඳහා යොදාගනු ලැබේ.
  • CDB මගින් තීරණය කරනු ලබන අනුපාතයකට අනුව කාඩ්පත් හිමියාගෙන් වාර්ෂික ගාස්තුවක් අයකෙරෙනු ඇත.

 

පරිපූරක කාඩ්පත

  • ප්‍රධාන කාඩ්පත් හිමියාගේ ඉල්ලීම පරිදි CDB විසින් ඔහුගේ/ ඇයගේ සමීපතම පවුලේ සාමාජිකයෙකු වෙත පරිපූරක කාඩ්පතක් නිකුත් කිරීමට ඉඩ ඇති අතර, ප්‍රධාන ගිවිසුමෙහි නියමයන් හා කොන්දේසි සියල්ල එම කාඩ්පත් හිමියා සහ කාඩ්පත භාවිතා කිරීම සම්බන්ධයෙන්ද අදාළ වේ. පරිපූරක කාඩ්පත් හිමියා විසින් සිදුකරනු ලබන ගනුදෙනු සහ මුදල් ලබාගැනීම් කාඩ්පත් ගිණුමට හර වන අතර, එම තොරතුරු ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත යවනු ලබන ගිණුම් ප්‍රකාශයෙහි දැක්වෙනු ඇත. පරිපූරක කාඩ්පත් හිමියා වෙත වෙනම ගිණුම් ප්‍රකාශයක් නිකුත් කරනු නොලැබේ.
  • ප්‍රධාන කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා විසින් පරිපූරක කාඩ්පත භාවිතා කරනු ලැබීම නිසා ගෙවීමට සිදුවන ඕනෑම ගාස්තුවක් සඳහා CDB වෙත ඒකාබද්ධව සහ/ හෝ තනිව වගකිව යුතු ය. පරිපූරක කාඩ්පත් හිමියා අදාළ සම්පූර්ණ මුදල හෝ ඉන් කොටසක් වැය කර තිබිය හැකි වුවද, ප්‍රධාන ණයකරු ලෙස කාඩ්පත් ගිණුමේ දක්වා ඇති ප්‍රධාන කාඩ්පත් හිමියා අදාළ සම්පූර්ණ හිඟ මුදල සඳහා වගකිව යුතු වේ. ප්‍රධාන කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා අතර සම්බන්ධතාව අවසන් වුවද, ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් අදාළ සම්පූර්ණ හිඟ මුදල CDB වෙත ගෙවිය යුතු ය.
  • පරිපූරක කාඩ්පතක් නිකුත් කළ පසුව, ප්‍රධාන කාඩ්පත් හිමියා හෝ පරිපූරක කාඩ්පත් හිමියා විසින් කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකරන තුරු එම කාඩ්පත වලංගු වේ. මෙම ගිවිසුම සහ ප්‍රධාන කාඩ්පත අවලංගු කරන ලද අවස්ථාවකදී, පරිපූරක කාඩ්පත/ කාඩ්පත් ද අවලංගු වන අතර එම කාඩ්පත් වහාම CDB වෙත භාරදිය යුතු ය.
  • ඒකාබද්ධ ණය සීමාව ප්‍රධාන කාඩ්පත් හිමියාට සහ පරිපූරක කාඩ්පත් හිමියන්ට පොදුවේ අදාළ වේ. ප්‍රධාන කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියන්, ඔවුන්ට හිමි වත්මන් පොදු ණය සීමාව ඉක්මවන ආකාරයෙන් කාඩ්පත් ගනුදෙනු සිදු නොකළ යුතු ය.
  • ප්‍රධාන කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියා අතර ඇතිවන මතභේද හෝ ආරවුල් හේතුවෙන්, මෙම ගිවිසුම යටතේ එම දෙපාර්ශ්වය වෙත පැවරී ඇති වගකීම් වලට බලපෑමක් ඇති නොවේ.

ATM යන්ත්‍ර සහ PIN අංක භාවිතා කිරීම

  • කාඩ්පත භාවිතයෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මගින් මුදල් ගැනීමේ පහසුකම ලබා දී ඇත්නම්, එම සියලු ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර සඳහා කාඩ්පත භාවිතා කිරීම සම්බන්ධයෙන් CDB සහ MasterCard අතර ඇති ගිවිසුමට සහ විනිමය පාලන පනතට යටත් වේ. ATM යන්ත්‍ර භාවිතයෙන් සිදුකළ ගනුදෙනු වලට අදාළව පැනනගින මතභේද සම්බන්ධයෙන් CDB විසින් පරීක්ෂණ සිදුකරනු ඇති අතර, CDB ආයතනය තෘප්තිමත් වන ආකාරයට සාක්ෂි නොපවතින්නේ නම් අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් කාඩ්පත් හිමියන් වගකිව යුතු වනු ඇත.
  • ATM ගනුදෙනු සම්බන්ධයෙන් CDB පරිගණක පද්ධතියෙහි සඳහන් වන තොරතුරු, අදාළ ගනුදෙනු කාඩ්පත් හිමියාගේ අවසරය සහිතව සිදුකෙරෙනු බවට සනාථ කරන පැහැදිලි සාක්ෂි ලෙස සැලකේ.
  • කාඩ්පත් හිමියාගේ අනුදැනුම හෝ අවසරය ඇතිව හෝ නොමැතිව කාඩ්පත හරහා ATM යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන සියලු ගනුදෙනු සඳහා කාඩ්පත් හිමියා වගකිව යුතු ය. ATM ගනුදෙනුවකදී PIN අංකය ඇතුළත් කළ යුතු නිසා, කාඩ්පත නැති වූ බව වාර්තා කිරීමෙන් මෙම වගකීම අවලංගු නොවේ. PIN අංකය ආරක්ෂා කරගන්නා ලෙසත්, එම අංකය සහ කාඩ්පත එක ළඟ තබා නොගන්නා ලෙස කාඩ්පත් හිමියන්ට උපදෙස් ලබා දී ඇති අතර, එසේ නොකිරීම පැහැදිලි ලෙසම වගකීම භාරගැනීමක් ලෙස සැලකේ. කාඩ්පත් හිමියා ATM යන්ත්‍රයක් භාවිතයෙන් මුදල් ලබාගත් විට CDB විසින් අදාළ මුදල කාඩ්පත් ගිණුමට හර කරනු ඇත.
  • ප්‍රධාන කාඩ්පත් හිමියාගේ ඉල්ලීම පරිදි පරිපූරක කාඩ්පත් නිකුත් කර ඇති අවස්ථාවකදී, ATM යන්ත්‍ර වලදී කාඩ්පත භාවිතා කිරීම මගින් ඇතිවන ඕනෑම ගාස්තුවක් සඳහා කාඩ්පත් හිමියා සහ පරිපූරක කාඩ්පත් හිමියන් එක්ව CDB වෙත වගකිව යුතු ය. කාඩ්පත් හිමියාට තම කාඩ්පත් ගිණුමෙන් මුදල් ලබාගැනීම සඳහා සහ, ATM යන්ත්‍ර ඔස්සේ කාඩ්පත් හිමියන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් වෙතින් ලබාදෙන සියලුම පහසුකම් ලබාගැනීම සඳහා කාඩ්පත භාවිතා කළ හැක. කාඩ්පත් හිමියාගේ කාඩ්පත් ගිණුමේ සියලුම ගනුදෙනු පිළිබඳ CDB සතු වාර්තා නිශ්චිත වන අතර, ඒ සම්බන්ධයෙන් තමන් වගකියන බවට කාඩ්පත් හිමියා එකඟ වේ. කාඩ්පතේ ආරක්ෂාව සඳහා මෙන්ම චුම්බක පටියට ඇතුළත් කර ඇති කාඩ්පත් දත්ත සහ/ හෝ චිපය තුළ ඇති කාඩ්පත් දත්ත ආරක්ෂා කරගැනීමට කාඩ්පත් හිමියා හැකි සෑම පියවරක්ම ගත යුතු අතර, PIN අංකය සහ වෙනත් කාඩ්පත් දත්ත වෙනත් පාර්ශවයක් අතර පත්වීම වැළැක්වීමට වගබලාගත යුතු ය.

කාඩ්පත සහ PIN අංකය ආරක්ෂා කරගැනීම

  • කාඩ්පත ආරක්ෂා කරගැනීමට සහ PIN අංකය වෙනත් පුද්ගලයෙකුට අනාවරණය වීම වැළැක්වීමට කාඩ්පත් හිමියා හැකි සෑම පියවරක්ම ගත යුතු ය. එමෙන්ම PIN අංකය කිසිදු ආකාරයකින් ලියා තැබීමක් සිදු නොකළ යුතු ය.

කාඩ්පත අස්ථානගත වීම

  • කාඩ්පත අස්ථානගත වීමක්/ සොරාගැනීමක්/ විනාශ වීමක් හෝ කිසියම් ආකාරයක අවභාවිතාවක් සිදු වී ඇත්නම් හෝ PIN අංකය වෙනත් පුද්ගලයෙකුට අනාවරණය වී ඇත්නම්, කාඩ්පත් හිමියා වහාම ඒ පිළිබඳව පොලීසිය සහ කාඩ්පත් මධ්‍යස්ථානය දැනුවත් කළ යුතු වේ. කාඩ්පත් මධ්‍යස්ථානය වෙත කරනු ලබන දැනුම්දීම වාචිකව සිදුකළද, එය වලංගු වන්නේ ලිඛිතව දැනුම්දීමෙන් අනතුරුව ය.
  • ඉහත සඳහන් ආකාරයේ ලිඛිත දැනුම්දීමක් කාඩ්පත් මධ්‍යස්ථානය වෙත ලැබෙන තුරු, කාඩ්පත භාවිතයෙන් සිදුකරන සියලුම ආකාරයේ ගනුදෙනු සහ මුදල් ගැනීම් සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා වගකිව යුතු වන අතර, එම මුදල් මෙම ගිවිසුමෙහි සඳහන් ආකාරයට කාඩ්පත් හිමියාගෙන් අයකරගනු ලබනු ඇත.
  • කාඩ්පත අස්ථානගත වීම, අවභාවිතය හෝ PIN අංකය අනාවරණය වීම සම්බන්ධයෙන් තමන් සතු සියලු තොරතුරු CDB වෙත ලබාදීමට කාඩ්පත් හිමියා කටයුතු කළ යුතු අතර, CDB ආයතනය මගින් අවශ්‍ය යයි තීරණය කරනු ලබන ආකාරයට අදාළ පරීක්ෂණය සඳහා සහය දීමට හැකි සෑම පියවරක්ම ගැනීමටත්, පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශයේ පිටපතක් CDB වෙත ලබාදීමටත් කටයුතු කළ යුතු ය.
  • අස්ථානගත වූ හෝ සොරාගනු ලැබූ කාඩ්පත් වෙනුවට, අදාළ වෙනස්කම් වලට යටත්ව, එම මුල් කාඩ්පතට අදාළ නියමයන් හා කොන්දේසි යටතේ නව කාඩ්පත් නිකුත් කිරීම CDB සමාගමේ පූර්ණ අභිමතය පරිදි සිදුකෙරෙනු ඇත.
  • අස්ථානගත වූ හෝ සොරාගනු ලැබූ කාඩ්පත නැවත කාඩ්පත් හිමියා අතට පත්වූයේ නම්, ඔහු/ ඇය වහාම එම කාඩ්පත කාඩ්පත් මධ්‍යස්ථානය වෙත භාරදීමට කටයුතු කළ යුතු ය.

නැවත අයකර ගැනීම

  • මෙම නියමයන් හා කොන්දේසි යටතේ, කාඩ්පත් හිමියා CDB වෙත ගෙවිය යුතු මුදල් අදාළ දිනයට පෙර ගෙවීමට අපොහොසත් වන්නේ නම්, එම සම්පූර්ණ මුදලට සමාන මුදලක් කාඩ්පත් හිමියා CDB හි ඕනෑම ශාඛාවක පවත්වාගෙන යන ඉතුරුම් හෝ වෙනත් ගිණුමකින් අයකර ගැනීමට CDB සමාගම අයිතිය ඇති බවට කාඩ්පත් හිමියා පැහැදිලි ලෙසම එකඟ වේ. කාඩ්පත් ගිණුමේ සම්පූර්ණ හිඟ මුදල ගෙවන තුරු එලෙස CDB හි ඕනෑම ශාඛාවක පවත්වාගෙන යනු ලබන ඕනෑම ගිණුමකට තැන්පත් කරන ලද හෝ බැර කරන ලද ඕනෑම මුදලකින් කාඩ්පත් හිමියා ගෙවිය යුතු සම්පූර්ණ මුදල දක්වා වූ මුදලක් අයකර ගැනීමට හෝ කාඩ්පත් හිමියා CDB හි පවත්වාගෙන යන ඕනෑම තැන්පතුවක් රඳවා ගැනීමට හෝ එම තැන්පතු හිඟ මුදල දක්වා ඇපයට තබා ගැනීමට CDB සමාගමට මෙයින් බලය පවරයි.
  • කාඩ්පත් හිමියා විසින් කාඩ්පත් ගිණුම සඳහා CDB වෙත ගෙවිය යුතු වන කිසියම් හිඟ මුදලක් වේ නම් ඒ සඳහා කාඩ්පත් හිමියා සතු ඕනෑම දේපළක් භාවිතා කිරීමට CDB ආයතනයට අයිතිය ඇති බව කාඩ්පත් හිමියා පිළිගන්නා සහ එකඟ වන අතර, එවැනි පියවරක් ගත් අවස්ථාවකදී ඒ සම්බන්ධ වගකීම් වලින් CDB ආයතනය නිදහස් කිරීමටද ඔහු/ ඇය එකඟ වේ.
  • මෙම නියමයන් හා කොන්දේසි ප්‍රකාරව, CDB වෙත ගෙවිය යුතු වන හිඟ මුදල් ගෙවීමට කාඩ්පත් හිමියා අපොහොසත් වන අවස්ථාවකදී තම පූර්ණ අභිමතය පරිදි ඒකපාර්ශ්විකව මෙම ගිවිසුම සහ සියලුම කාඩ්පත් (පරිපූරක කාඩ්පත්ද ඇතුළුව) අවලංගු කිරීමට CDB ආයතනය කටයුතු කරනු ඇත. ගෙවීම් පැහැර හැරීම මත CDB විසින් මෙම ගිවිසුම අවලංගු කරනු ලබන අවස්ථාවකදී කාඩ්පත් හිමියා CDB සමග නව කාඩ්පත් ගිවිසුමකට එළඹීමට සුදුසුකම් නොලබන අතර, ඔහු/ ඇය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා කරනු ලබනු ඇත.
  • මෙම නියමයන් හා කොන්දේසි යටතේ CDB වෙත ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීමට කාඩ්පත් හිමියා අපොහොසත් වන අවස්ථාවක, එම හිඟ මුදල ගෙවීමට කාඩ්පත් හිමියා පෙළඹවීම සඳහා, මුදල් එකතු කිරීමේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට තුන්වන පාර්ශ්වයක ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබාගැනීමටත්, එවැනි අවස්ථාවකදී ගනුදෙනු සහ හිඟ මුදල් ඇතුළු අදාළ තොරතුරු එම තුන්වන පාර්ශ්වයට අයත් ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ට අනාවරණය කිරීමටත් කාඩ්පත් හිමියා CDB වෙත බලය පවරයි.
  • කාඩ්පත් හිමියා කාඩ්පත් ගිණුමේ හිඟ මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හරින අවස්ථාවක, කාඩ්පත් ගිණුමේ සම්පූර්ණ හිඟ මුදල අයකර ගැනීම සඳහා, ප්‍රධාන කාඩ්පත් හිමියාට (පරිපූරක කාඩ්පත් හිමියෙකු සිටින අවස්ථාවකදී එම පරිපූරක කාඩ්පත් හිමියා සමග ඒකාබද්ධව සහ වෙන වෙනම) එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම CDB ආයතනයට හිමිකම් ඇති බව කාඩ්පත් හිමියා පිළිගනී.
  • හිඟ මුදල් සම්බන්ධ ගැටලුව මුදල් එකතු කිරීමේ ආයතනයකට යොමු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය වේ නම්, හිඟ මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධ සියලු වියදම්, නෛතික වියදම් සහ හිඟ මුදල් පොලී සමඟ ගෙවීමට තමන් බැඳී සිටින බව කාඩ්පත් හිමියා පිළිගනී.

සාමාන්‍ය කරුණු

  • තම රැකියාවේ සහ/ හෝ කාර්යාලයීය ලිපිනයේ සහ/ හෝ නේවාසික ලිපිනයේ සහ/ හෝ දුරකථන අංකයේ වෙනසක් සිදු වුවහොත් ලිඛිත සාක්ෂි සමග ඒ බව CDB වෙත දැන්වීමට කාඩ්පත් හිමියා කටයුතු කළ යුතු ය. කාඩ්පත් හිමියා වෙත කරනු ලබන දැනුම්දීම් සහ යවනු ලබන ලිපි, ඔහු/ ඇය විසින් අවසන් වරට CDB වෙත ලබාදෙන ලද ලිපිනය වෙත තැපැල් මගින් යවනු ලබන අතර, තැපැල් කිරීමෙන් පැය 48 කට පසු එය කාඩ්පත් හිමියා වෙත ලැබුණු ලෙස සැලකේ.
  • කාඩ්පත් ගිණුමේ ඇති සම්පූර්ණ හිඟ මුදල හෝ ඉන් කොටසක් තම පරම අභිමතය පරිදි ඕනෑම ආකාරයකින් මාරු කිරීමට, පැවරීමට සහ විකිණීමට CDB ආයතනයට අයිතිය ඇත. හිඟ මුදල් අයකර ගැනීම සඳහා තුන්වන පාර්ශ්වයක එකතු කිරීමේ නියෝජිතයන් පත් කිරීමට කාඩ්පත් හිමියා CDB වෙත මෙයින් බලය පවරයි. හිඟ මුදල් සම්බන්ධ ගැටලුව මුදල් එකතු කිරීමේ ආයතනයකට යොමු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය වේ නම්, අදාළ හිඟ මුදල සහ පොලිය, නෛතික වියදම්, සහ මුදල් එකතු කිරීමේ නියෝජිතායතනයට ගෙවීමට සිදුවන වියදම් ඇතුළු සියලු වියදම් ගෙවීමට කාඩ්පත් හිමියා කටයුතු කළ යුතු ය.
  • CDB ආයතනයට අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක කාඩ්පත් හිමියා ඔහුගේ/ ඇයගේ මූල්‍ය තත්ත්වය පිළිබඳ දත්ත ඉදිරිපත් කළ යුතු ය. එලෙස ලබාදෙන තොරතුරු පරීක්ෂා කර බලා තහවුරු කරගැනීමටද කාඩ්පත් හිමියා CDB වෙත බලය පවරයි. ඉල්ලා සිටින ලද අවස්ථාවකදී අදාළ දත්ත ලබා නොදෙන්නේ නම් තම අභිමතය පරිදි කාඩ්පත අලුත් නොකිරීමට හෝ අවලංගු කිරීමට CDB ආයතනයට අයිතිය ඇති අතර, එලෙස අවලංගු කරන ලද්දේ නම්, එම අවස්ථාව දක්වා ඇති සම්පූර්ණ හිඟ මුදල කාඩ්පත් හිමියා වහාම CDB වෙත ගෙවිය යුතු ය.
  • කාඩ්පත් හිමියා වෙත යවන ලද ලිපි කිසියම් හේතුවක් නිසා ආපසු ආයතනය වෙත පැමිණේ නම් සහ කාඩ්පත් හිමියා සම්බන්ධ කරගත නොහැකි වේ නම්, අයදුම් පත්‍රයේ දක්වා ඇති වෙනත් ලිපිනයක් වෙත අදාළ ගිණුම් ප්‍රකාශ සහ/ හෝ ලිපි යොමුකිරීමේ අයිතිය CDB සතු ය. කාඩ්පත් ගිණුමේ චර්යාව අසතුටුදායක නම්, කාඩ්පත් හිමියාට පෙර දැනුම්දීමක් සිදුකර හෝ නොකර, ආරම්භයේදී ලබාදුන් ණය සීමාව අඩු කිරීමේ හෝ කාඩ්පත අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය CDB සතු ය.
  • මෙම ගිවිසුමේ සපයා ඇති අයිතිවාසිකම් සහ විධිවිධාන සමුච්චිත වන අතර (නීතියෙන් හෝ වෙනත් ආකාරයකින් දක්වා ඇතත්) වෙනත් අයිතිවාසිකම් හෝ පිළියම් වලින් බැහැර නොවේ. කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා මතභේදයක් ඉදිරිපත් කරන්නේ නම්, CDB මගින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරනු ඇත. එහෙත් කාඩ්පත් හිමියා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ නොවන්නේ නම්, පරීක්ෂණයට සහය වීමට CDB වෙත නොපැමිණෙන්නේ නම්, ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු අනෙකුත් සාක්ෂි පරීක්ෂා කිරීමට එකඟ නොවන්නේ නම් හෝ පරීක්ෂණය තුළදී අදාළ අලෙවිසැල් හෝ ATM යන්ත්‍ර වෙත යාමට එකඟ නොවන්නේ නම්, මතෙභ්දයට අදාළ සියලු ගනුදෙනු වලට කාඩ්පත් හිමියා වගකිව යුතු වේ.
  • කාඩ්පත් හිමියා සම්බන්ධ සියලු තොරතුරු, සියලුම කාඩ්පත් ගනුදෙනු, සහ කාඩ්පත සහ/ හෝ කාඩ්පත් ගිණුමට අදාළව CDB සතු වාර්තා (පරිගණක වල සහ මයික්‍රෝෆිල්ම් ලෙස ගබඩා කර ඇති වාර්තා ඇතුළුව) සියල්ල පිළිගත හැකි සාක්ෂි ලෙස සැලකේ.
  • කිසිදු අවස්ථාවක, CDB ආයතනය විශ්වාසය තබන පරිගණක තොරතුරක සත්‍යතාව හෝ නිරවද්‍යතාව සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමට කාඩ්පත් හිමියා මෙයින් එකඟ වේ. CDB තම පූර්ණ අභිමතය පරිදි අවශ්‍ය තොරතුරු මයික්‍රෝෆිල්ම් ලෙස හෝ වෙනත් ක්‍රමයකට ගබඩා කිරීමට මෙන්ම එම වාර්තා ඕනෑම අවස්ථාවක විනාශ කිරීමටද ඉඩ ඇත.
  • කාඩ්පත් නිකුත් කරන්නන් විසින්, අදාළ අවස්ථාවේදී පවතින ප්‍රවණතා / සිදුවීම් මත පදනම්ව ඇතැම් භූගෝලීය කලාප අධි අවදානම් කලාප ලෙස සලකනු ලැබීමට ඉඩ ඇති බව කාඩ්පත් හිමියා පිළිගනී. එබැවින්, විදේශ සංචාරයක යෙදීමට අපේක්ෂා කරන්නේ නම්, අවදානම් අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා, සංචාරය කිරීමට අදහස් කරන රටවල් සහ එම සංචාරයන්හි දිනයන් CDB වෙත දැනුම් දීමට කාඩ්පත් හිමියා කටයුතු කළ යුතු ය. කිසියම් අවස්ථාවකදී, කෙටි පණිවුඩ සේවාව (SMS), අන්තර්ජාල බැංකුකරණය හෝ වෙනත් ඕනෑම නාලිකාවක් හරහා කාඩ්පත් ගනුදෙනුවක් පිළිබඳ කෙරෙන දැනුම්දීමක් සැක සහිත නම්, කාඩ්පත් හිමියා/ හිමියන් වහාම ඒ බව CDB වෙත දැනුම් දිය යුතු ය.
  • CDB ආයතනය තම අභිමතය පරිදි, අහඹු ලෙස, එහි සාමාන්‍ය අවදානම් කළමනාකරණ නිරීක්ෂණ කටයුතු අතරතුර, දුරකථනය හරහා නිශ්චිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි බව කාඩ්පත් හිමියා පිළිගන්නා අතර, තම උපරිම දැනුමට අනුව එම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට ඔහු/ ඇය එකඟ වේ.
  • කාඩ්පතට අදාළව CDB විසින් කාඩ්පත් හිමියාට වරින් වර ලබාදෙන පහසුකම්, ප්‍රතිලාභ හෝ සේවාවන්ට අදාළව කලින් කලට නියම කරනු ලබන සහ කලින් කලට වෙනස් වීමට ඉඩ ඇති සියලුම නියමයන් සහ කොන්දේසිවලට (“වෙනත් නියමයන් සහ කොන්දේසි”) අනුකූලව කටයුතු කිරීමට කාඩ්පත් හිමියා එකඟ වේ.

තොරතුරු අනාවරණය කිරීම

  • කාඩ්පත් හිමියා හෝ පරිපූරක කාඩ්පත් හිමියන් සහ/ හෝ ඔවුන්ගේ කාඩ්පත් ගිණුම් සම්බන්ධ තොරතුරු වෙනත් ක්‍රෙඩිට් කාඩ් සමාගම් හෝ බැංකු වෙත සහ, නීතිමය අවශ්‍යතාවක් පැනනැගී ඇත්නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, අධිකරණයට හෝ ඕනෑම රජයේ දෙපාර්තමේන්තුවකට හෙළි කිරීමට කාඩ්පත් හිමියා CDB වෙත බලය පවරයි. ක්‍රෙඩිට් කාඩ්පත් හිමියා සතුව තවදුරටත් CDB ක්‍රෙඩිට් කාඩ්පතක්/ කාඩ්පත් නොපවතින විටද මෙම බලය පැවරීම අදාළ වේ.
  • තම අභිමතය පරිදි, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට සහ/ හෝ ඕනෑම දේශීය හෝ ජාත්‍යන්තර ණය තොරතුරු කාර්යාංශයකට කාඩ්පත් හිමියන්ගේ කාඩ්පත් භාවිතය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට CDB ආයතනයට අයිතිය ඇති බව කාඩ්පත් හිමියා පිළිගනී.

වගකීමෙන් නිදහස් කිරීම

  • කාඩ්පත් හිමියා හෝ ඔහු/ ඇය වෙනුවෙන්, දුරකථන, ටෙලෙක්ස්, ෆැක්ස්, ඊමේල් මගින් හෝ ලිඛිතව ලබාදුන් බව සැලකෙන දැනුම් දීමක්, ඉල්ලීමක් හෝ වෙනත් සන්නිවේදනයක් අනුව CDB විසින් කටයුතු කරන ලද අවස්ථාවකදී, එම උපදෙස් හෝ දැනුම්දීම් ලැබුණු අවස්ථාවේදී පැවති තත්ත්වයන් කුමක් වුවද, CDB විසින් සද්භාවයෙන් යුතු එම උපදෙස් හෝ දැනුම් දීම් ප්‍රකාරව කටයුතු කිරීම සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා විසින් CDB ආයතනය වගකීමෙන් නිදහස් කරනු ලබයි.
  • මෙම විධිවිධාන බලාත්මක කිරීමේදී CDB ආයතනයට දැරීමට සිදුවන ඕනෑම ආකාරයක වගකීම්, අලාභ, හානි, පිරිවැය සහ වියදම් (නීතිමය හෝ වෙනත්) ආදියෙන් CDB ආයතනය නිදහස් කිරීමට සහ ඒවා පියවීමට කාඩ්පත් හිමියා එකඟ වේ.

පාලනය වන නීති

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිරීති මගින් මෙම ගිවිසුම පාලනය වේ.

අවලංගු කිරීම

  • CDB වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර, කාඩ්පත සහ පරිපූරක කාඩ්පත් නිකුත් කර තිබේ නම් ඒවාද නැවත භාරදීම මගින් මෙම ගිවිසුම අවසන් කිරීමට කාඩ්පත් හිමියන්ට හැකියාව ඇත. මෙය පරිපූරක කාඩ්පත් භාවිතයට අදාළ වන අවස්ථාවකදී, CDB වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර, පරිපූරක කාඩ්පත/ කාඩ්පත් ආපසු භාරදීම මගින් ගිවිසුම අවසන් කළ හැකි අතර, එලෙස භාරදෙනු ලබන කාඩ්පත/ කාඩ්පත් භාවිතා කළ නොහැකි පරිදි විනාශ කළ යුතු වේ.
  • හේතුවක් සහිතව හෝ රහිතව, කල්තබා දැනුම් දීමක් සිදුකර හෝ නොකර, ඕනෑම අවස්ථාවක කාඩ්පත අවලංගු කිරීම හෝ අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ මෙම ගිවිසුම අවලංගු කිරීමට CDB ආයතනයට බලය ඇත. එබඳු අවලංගු කිරීමක් සිදුකරනු ලබන තෙක් CDB විසින් කලින් කලට කාඩ්පත් හිමියා වෙත නව කාඩ්පතක් (කාඩ්පත අලුත් කිරීම) නිකුත් කරනු ලැබේ.
  • මෙම ගිවිසුම අවලංගු කරනු ලබන අවස්ථාවකදී හෝ, කාඩ්පත් හිමියා බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීම හෝ ඔහුගේ/ඇයගේ මරණය සිදු වූ අවස්ථාවකදී, කලින් සිදුකරන ලද එහෙත් මේ දක්වා කාඩ්පත් ගිණුමට හර නොවූ ගනුදෙනු ඇතුළුව සියලු කාඩ්පත් ගනුදෙනු වලට අදාළ සම්පූර්ණ හිඟ මුදල වහාම CDB වෙත ගෙවිය යුතු ය. කාඩ්පත් ගිණුමේ හිඟ මුදල් පියවීම් කාඩ්පත් හිමියාගේ වගකීමක් වන අතර, එම හිඟ මුදල් අයකර ගැනීමේදී වැයවන සියලු වියදම් හා ගාස්තු (නීතිමය කටයුතු සම්බන්ධ ගාස්තු ඇතුළුව) වලින් CDB ආයතනය නිදහස් කිරීමටද කාඩ්පත් හිමියා කටයුතු කළ යුතු ය. කිසියම් හිඟ මුදලක් ගෙවීමට තිබේ නම්, පවතින අනුපාතයන් අනුව දිගින් දිගටම ඒ සඳහා මූල්‍ය ගාස්තු සහ වෙනත් ගාස්තු අයකිරීමට CDB ආයතනයට බලය ඇත.
  • කුමන පාර්ශවයක් විසින් ගිවිසුම අවලංගු කරනු ලැබුවද, කාඩ්පත භාවිතය නිසා ඉදිරියට ඇතිවන ඕනෑම පිරිවැයක් සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා දිගින් දිගටම වගකිව යුතු වේ.