ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම් සඳහා වන කොන්දේසි සංග්‍රහය

2019 ජනවාරි මස සිට ක්‍රියාත්මක වේ

අන්තර්ගතය

1. පෙරවදන
2. මූලික බැඳීම්
3. තොරතුරු
4. අය ක්‍රමය (ගාස්තු / අය කිරීම් / පොලී)
5. විකුණුම් හා අලෙවිකරණ ආචාර ධර්ම
6. ක්‍රෙඩිට් කාඩ් / PIN නිකුත් කිරීම
7. ගිණුම් ක්‍රියාකාරිත්වය
8. ගිණුම් තොරතුරු වල රහස්‍යභාවය
9. හිඟ මුදල් එකතු කිරීම
10. පැමිණිලි හැසිරවීම
11. ක්‍රෙඩිට් කාඩ්පතක් අවලංගු කිරීම
12. ප්‍රතිචාර සහ යෝජනා

 

1. පෙරවදන

මෙය ක්‍රෙඩිට් කාඩ් (ණයවර පත්) නිකුත් කරන සාමාජික බැංකු / ආයතන (මින් ඉදිරියට ‘නිකුත් කරන්නා’ ලෙස හැඳින්වේ) සහ / හෝ ඔවුන් හා ආශ්‍රිත ආයතනයන් හි සම්මත භාවිතය සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම් මාර්ගෝපදේශ අංක 01/2010 අනුව සකස් කරන ලද අනිවාර්ය චර්යාධර්ම පද්ධතියකි. (මින් ඉදිරියට ‘සංග්‍රහය’ ලෙස හැඳින්වේ). මෙම සංග්‍රහය තනි පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කිරීමේදී සලසන සේවා ප්‍රමිතියේ මිම්මක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රෙඩිට් කාඩ් සහ වෙනත් කාඩ්පත් නිෂ්පාදන නිකුත් කිරීමේදී නිකුත් කරන්නන් භාරගන්නා වගකීම්, මෙම සංග්‍රහය ඔස්සේ විස්තර කරයි. මෙම සංග්‍රහය පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී නිකුත් කරන්නන්ගේ කාර්ය මණ්ඩලයට මග පෙන්වනු ඇත. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග තේරුම් ගැනීමට මෙම සංග්‍රහය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සංග්‍රහය අනුගමනය කරන නිකුත් කරන්නන් එය ඔවුන්ගේ වෙබ් අඩවි වල තැන්පත් කරන අතර, පාරිභෝගික ඉල්ලීම් මත අදාළ පිටපත් පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.

 

මෙම සංග්‍රහය පිළිබඳව

1.2 අනිවාර්ය ලේඛනයක් ලෙස, මෙම සංග්‍රහය මගින් තරගකාරිත්වය ප්‍රවර්ධනය කරන අතර පාරිභෝගිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉහළ මෙහෙයුම් ප්‍රමිතීන් කරා ළඟා වනු පිණිස වෙළඳ පොළ බලවේග දිරිමත් කිරීම සිදු කරනු ලබයි. සංග්‍රහයයේ, `අපි / අපේ’ යන්නෙන් අදාළ නිකුත් කරන්නා දක්වයි. සංග්‍රහයයේ ප්‍රමිතීන් පාලනය වනුයේ 2 වන වගන්තියේ විස්තර කර ඇති මූලික බැඳීම් මගිනි.
වෙනත් අයුරකින් ප්‍රකාශ නොකර ඇති අවස්ථාවක; මෙම සංග්‍රහය යේ සියලුම කොටස් කවුන්ටරයෙන්, දුරකථනයෙන්, අන්තර්ජාලයෙන් සහ / හෝ වෙනත් ක්‍රමයකින් ලබාදෙන සියලුම ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදන සහ සේවාවන් සඳහා අදාළ වේ. මෙම සංග්‍රහයයේ දක්වා ඇති බැඳීම් සාමාන්‍ය මෙහෙයුම් ව්‍යාපාරික පරිසරයක් යටතේ අදාළ වේ. යම් ව්‍යවසනයකදී හෝ ආපදා තත්ත්ව යටතේ මෙම සංග්‍රහය යටතේ ඇති බැඳීම් ඉටු කිරීමට අපට නොහැකි විය හැකි බව පැහැදිලිව වටහා ගත යුතුය.

 

2. මූලික බැඳීම්

අපි බැඳී සිටින්නේ

2.1 අපගේ සියලු ගනුදෙනු වලදී වගකීමෙන් හා සාධාරණව කටයුතු කිරීම;

 a. අප විසින් සපයනු ලබන නිෂ්පාදන සහ සේවාවන් සඳහා සහ අපගේ කාර්ය මණ්ඩලය / නියෝජිතයන් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි සහ භාවිතයන් ආදියෙහි මෙම සංග්‍රහයයේ ප්‍රමිතීන් සපුරාලීම,

 b. අපගේ නිෂ්පාදන සහ සේවාවන් අදාළ නීති, රෙගුලාසි, මාර්ගෝපදේශ, උපදෙස් සහ චක්‍රලේඛ වලට අනුකූල වන බවට වග බලා ගැනීම,

 c. පාරිභෝගිකයින් සමඟ අපගේ ගනුදෙනු, අඛණ්ඩතාව සහ විනිවිදභාවය යන සදාචාරාත්මක මූලධර්ම මත රඳා පවතින බවට සහතික කිරීම,

 d. නීත්‍යානුකූල හා සදාචාරාත්මක පාරිභෝගික පිළිවෙත්හි නිරත වීම, තුළින්.

 

2.2 පහත දැක්වෙන තොරතුරු සරල භාෂාවෙන් ඉදිරිපත් කිරීමෙන් අපගේ ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදන සහ සේවාවන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් පාරිභෝගිකයාට ලබාදීම.

 a. පාරිභෝගිකයාට ලැබෙන ප්‍රතිලාභයන් මොනවාද?

 b. අදාළ පාරිභෝගිකයින්ට ප්‍රතිලාභයන් ලබා ගත හැකි ආකාරය.

 c. අදාළ පිරිවැය, ගාස්තු සහ වියදම් මොනවාද?

 d. තමන්ගේ විමසීම් සිදුකිරීමට පාරිභෝගිකයා හට සම්බන්ධ කර ගත හැක්කේ කවුරුන් ව ද? කෙසේ ද?

 

2.3 පාරිභෝගික විමසීම් සහ පැමිණිලි පිළිබඳව වඩාත් ඉක්මනින් හා ඵලදායී ලෙස කටයුතු කිරීම;

 a. ඔවුන්ගේ විමසුම් මෙහෙයවීම සඳහා විවිධ මාර්ග ඉදිරිපත් කිරීම.

 b. ඉවසීමෙන් ඔවුනට සවන් දීම.

 c. පැමිණිල්ල / විමසීම ලැබී වැඩකරන දින 10 ක් තුළ ගනුදෙනුකරුවන්ට ප්‍රතිචාර සන්නිවේදනය කිරීම.

 d. අපගේ ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම්, ඔවුන්ගේ පැමිණිල්ල ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි පාරිභෝගිකයින්ට දැනුම් දීම, තුළින්.

 

2.4 අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන පාරිභෝගිකයින්ට මෙම සංග්‍රහය ලබාදීම සහ, පාරිභෝගික ඉල්ලීම පරිදි ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් පිටපත් ලබාදීමට කටයුතු කිරීම.

 

3. විස්තර (පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන සහ සේවාවන් තෝරා ගැනීමට අවස්ථාව ලබාදීම)

3.1 ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීමට පෙර, අපි;

a. පහත සඳහන් දේ ඇතුළුව, අපගේ ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදනවල ප්‍රධාන අංගයන් පැහැදිලි කරමින් තොරතුරු දැක්වීම;

 – අදාළ නියමයන් සහ කොන්දේසි;

 – අදාළ ගාස්තු සහ පොලී අනුපාත;

 – ගෙවිය යුතු අවම මුදල හා පොළිය ගණනය කිරීමේ ක්‍රමය;

 – පොලී ගාස්තු සහ දඩ මුදල් අය නොකිරීමට හෝ අවම කිරීමට කළ යුතු දෑ;

 – බිල්පත් සහ ගෙවීම් පටිපාටි;

 – අලුත් කිරීමේ සහ අවලංගු කිරීමේ ක්‍රියාපටිපාටි; සහ

 – කාඩ්පත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් වැදගත් තොරතුරු;

b. ඔවුන්ගේ අනන්‍යතාවය, ලිපිනය, රැකියාව යනාදිය සම්බන්ධ ලියකියවිලි සහ, නෛතික හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා ව්‍යවස්ථාපිත බලධාරින් විසින් නියම කළ හැකි වෙනත් ලියකියවිලි ඇතුළුව, ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීමට හැකි වන පරිදි අපට පාරිභෝගිකයාගෙන් අවශ්‍ය අවම තොරතුරු / ලියකියවිලි ලබාගැනීම පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම.

c. ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත්‍රයේ පාරිභෝගිකයා විසින් ලබාදෙන තොරතුරු තහවුරු කර ගැනීමට අවශ්‍ය නම්, දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමෙන් හා / හෝ අප විසින් පත් කරන ලද නියෝජිත ආයතනය හරහා පැමිණීමෙන් කරගත හැකි ය.

 

3.2 භාණ්ඩයක් / සේවාවක් සඳහා පාරිභෝගිකයා ඉල්ලුම් කරන විට, අපගේ සේවා ලබා දීමට ගතවන ඉලක්ක කාලයන් පිළිබඳව අපි දැනුම් දෙන්නෙමු.

3.3 අදාළ නියමයන් සහ කොන්දේසි, පොලී සහ අයකිරීම්, ක්‍රෙඩිට් කාඩ්පත නැති වූ හෝ අයතා පරිහරණයට ලක් වූ විටෙක පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් සහ වගකීම් මෙන්ම ක්‍රෙඩිට් කාඩ් භාවිතය සම්බන්ධයෙන් වෙනත් අදාළ තොරතුරු පිළිබඳවත් විස්තර අඩංගු සේවා මාර්ගෝපදේශයක් / සාමාජික පොත් පිංචක් පළමු ක්‍රෙඩිට් කාඩ් පත සමඟින් අපි ලබා දෙන්නෙමු.

3.4 පාරිභෝගිකයින්ට අවශ්‍ය විටෙක අපව සම්බන්ධ කර ගැනීමට හැකිවන පරිදි දුරකථන අංක, තැපැල් ලිපිනය, වෙබ් අඩවිය, විද්‍යුත් තැපැල් ලිපිනය වැනි අපගේ සියලුම සම්බන්ධතා තොරතුරු අපි ලබා දෙන්නෙමු.

3.5 ඔවුන්ගේ මාසික ප්‍රකාශයන් සැසඳීම සඳහා අදාළ සියලු ගෙවීම් ප්‍රකාශනයන් සියල්ල එකතු කරන ලෙස අපි පාරිභෝගිකයාට උපදෙස් දෙමු. ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශනයේ දිස්වන ගනුදෙනුවක් පාරිභෝගිකයා විසින් හඳුනා නොගන්නේ නම්, අපගෙන් ඉල්ලීමක් සිදුකළහොත් වැඩි විස්තර ලබා දෙනු ඇත. සමහර අවස්ථාවලදී, පාරිභෝගිකයෙකු ගනුදෙනුවක් සඳහා අවසර දී නොමැති බව සනාථ කිරීම සඳහා පාරිභෝගිකයා විසින් අපට තහවුරු කිරීමක් හෝ සාක්ෂි සැපයීමක් අවශ්‍ය විය හැකිය.

 

4. අය ක්‍රමය (පොලී / ගාස්තු / අයකිරීම් )

4.1 අපගේ ගාස්තු හා වියදම් පිළිබඳ ලේඛනයක් අපි ලබා දෙන්නෙමු (පොලී අනුපාත ඇතුළුව)

 a. අයදුම්පත සමඟින්,

 b. සේවා මාර්ගෝපදේශයේ / සාමාජික පොත් පිංචෙහි,

 c. පාරිභෝගිකයා අදාළ පාරිභෝගික සේවා අංක ඇමතූ විට,

 d. අපගේ වෙබ් අඩවියේ, හෝ

 e. අප විසින් පත් කරන ලද කාර්ය මණ්ඩලය හරහා.

 

4.2 ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශනයේ තොරතුරු සහ වෙබ් අඩවියේ ඇති ප්‍රකාශනයට අමතරව, පාරිභෝගික ඉල්ලීම් මත, පාරිභෝගිකයින්ගේ ගිණුමට පොලී ලබාදෙන්නේ සහ / හෝ අයකිරීම් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලිව විස්තරයක් අපි සිදුකරන්නෙමු.

4.3 අපගේ අය ක්‍රම වල වෙනස්වීම්

අපගේ ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදන සඳහා අය ක්‍රම වල යම් වෙනසක් සිදුකරන විට, (පොලී අනුපාතය සහ / හෝ වෙනත් ගාස්තු / අයකිරීම් ), එවැනි වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් දින 10 කට පෙර අදාළ පාරිභෝගිකයින්ට දැනුම් දීම සඳහා අපි අපගේ දුරකථන පණිවිඩවල, වෙබ් අඩවියේ සහ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ තොරතුරු යාවත්කාලීන කරන්නෙමු.

5. විකුණුම් සහ අලෙවිකරණ ආචාර ධර්ම

5.1 ක්ෂේත්‍ර පිරිස්

 a. අපගේ අලෙවි නියෝජිතයින්, කාඩ්පත් විකිණීම සඳහා වත්මන් සහ ඉලක්කගත පිරිභෝගිකයින් වෙත ළඟා වන විට, තමන්ගේ අනන්‍යතාවය පැහැදිලිව හඳුන්වා දෙයි.

 b. අපගේ අලෙවි නියෝජිතයා කිසියම් නුසුදුසු හැසිරීමක නිරත වී ඇති බවට පාරිභෝගිකයන්ගෙන් යම් පැමිණිල්ලක් අප වෙත ලැබුනහොත්, පැමිණිල්ල විසඳීම සඳහා අපි සුදුසු පියවර ගන්නෙමු.

 

5.2 ටෙලිමාර්කටින්

 a. අපගේ ටෙලිමාර්කටින් කාර්ය මණ්ඩලය / නියෝජිතයින් අපගේ ඕනෑම ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදනයක් විකිණීම සඳහා හෝ ඒ හා බැඳුනු විකිණීමේ දීමනාවක් සමඟ දුරකථනයෙන් පාරිභෝගිකයින් අමතන්නේ නම්, අමතන්නා තමන්ගේ අනන්‍යතාවය පැහැදිලිව හඳුන්වා දී ඔහු / ඇය අප වෙනුවෙන් ඇමතීම සිදු කරන බව පාරිභෝගිකයාට දන්වයි.

 b. ඇමතුම පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකරනු ඇතැයි අපේක්ෂා කරන විට පමණක් පාරිභෝගිකයින් සම්බන්ධ කර ගන්නා බව සහතික කෙරේ. (සාමාන්‍යයෙන් උදෑසන 09.00 ත් සවස 07.00 ත් අතර).

 c. නියමිත කාල සීමාවට පෙර හෝ පසුව ඇමතුම් ලබාදිය හැක්කේ පාරිභෝගිකයා ලිඛිතව හෝ වාචිකව එසේ කිරීමට අවසර දී ඇති විටකදී පමණි.

 

5.3 ටෙලිමාර්කටින් ආචාරධර්ම විධි

අපගේ ටෙලිමාර්කටින් කාර්ය මණ්ඩලය පිළිගත හැකි දුරකථන ඇමතුම් ආචාර විධි අනුගමනය කරනු ඇත. ඒවා පහත පරිදි වේ;

 

5.3.1 ඇමතුමට පෙර

බැංකුව හෝ බැංකුව විසින් පත් කරන ලද ඍජු විකුණුම් නියෝජිතයා විසින් නිෂ්කාශනය කර ඇති ලැයිස්තු පමණක් ඇමතීමේදී භාවිතය.

 

5.3.2 ඇමතුමක් අතරතුර

 a) තමන් සහ බැංකුව නිසි ලෙස හඳුන්වා දී ඇමතුම ලබාදීමට හේතුව පවසන්න.

 b) ඇමතුම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ඉල්ලීම; අවසරය ප්‍රතික්ෂේප වුවහොත්, සමාව ඉල්ලීම සහ ආචාරශීලීව විසන්ධි කිරීම.

 c) ජංගම දුරකථනයකට ඇමතුමක් ලබා දෙන්නේ නම්, සෑම විටම ස්ථාවර දුරකථනය වෙත නැවත ඇමතීමට ඉදිරිපත් වන්න.

 d) හැකි සෑම විටම, පාරිභෝගිකයාට වඩාත් සුවපහසු භාෂාවෙන් කතා කරන්න.

 e) සංවාදය ව්‍යාපාරික කටයුතුවලට පමණක් සීමා කරන්න. කිසි විටෙකත් බාධා හෝ තර්ක නොකරන්න.

 f) පාරිභෝගිකයා භාණ්ඩය මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් ‘වඩාත්ම වැදගත් නියමයන් සහ කොන්දේසි’ පිළිබඳ පාරිභෝගිකයාගේ අවබෝධය පිළිබඳව පරීක්ෂා කරන්න.

 g) පාරිභෝගිකයා ඉල්ලීමක් සිදුකරන්නේ නම් තමන්ගේ දුරකථන අංකය, තමන්ගේ අධීක්ෂකගේ නම හෝ අපගේ බැංකු සම්බන්ධතා තොරතුරු ලබාදීම සිදුකරන්න.

 h) ලබාදුන් කාලය සඳහා පාරිභෝගිකයාට ස්තූති කරන්න.

 

5.3.3 ඇමතුමට පසු

 a) ඔබ ඉදිරිපත් කළ යෝජනාව සඳහා පාරිභෝගිකයා උනන්දුවක් නොදක්වන්නේ නම්, ඉදිරි මාස 3 තුළ එම දීමනාව සඳහා එම පාරිභෝගිකයා ඇමතීමට අපි උත්සාහ නොකරමු.

 b) දැනටමත් විකුණන ලද නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයෙකු ඇමතුමක් ලබා දෙන්නේ නම්, එවැනි විමසීම් හැසිරවීම සඳහා පාරිභෝගිකයා බැංකුවේ අදාළ විකුණුම් කාර්ය මණ්ඩලයට/ දෙපාර්තමේන්තුවට / ඒකකයට යොමු කිරීම සිදුකරයි.

 

5.4 පාරිභෝගික තොරතුරු වල රහස්‍යභාවය

විකුණුම් නියෝජිතයින් සෑම විටම පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වයට ගරු කරනු ඇත. පාරිභෝගිකයින්ගේ කටයුතු පිළිබඳව සාමාන්‍යයෙන් සාකච්ඡා කළ හැක්කේ පාරිභෝගිකයා සමඟ හෝ පාරිභෝගිකයා විසින් ලිඛිතව හෝ විද්‍යුත් තැපෑලෙන්, පටිගත කරන ලද දුරකථන මාර්ගයෙන්, ෆැක්ස් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් අවසර ලබා දී ඇති ගණකාධිකාරී / ලේකම් / කලත්‍රයා වැනි පුද්ගලයෙකු / පවුලේ සාමාජිකයෙකු සමඟ පමණි.

 

5.5 පුහුණුව

විකුණුම් නියෝජිතයින්ට ඔවුන්ගේ කාර්යය ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා මග පෙන්වීම නිරන්තරයෙන් ලබාදෙනු ලැබේ.

 

6. ක්‍රෙඩිට් කාඩ්පත / රහස් අංකය (PIN) නිකුත් කිරීම

6.1 අපි සාමාන්‍යයෙන් පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත පාරිභෝගිකයා සඳහන් කළ තැපැල් ලිපිනයට කුරියර් / ලියාපදිංචි තැපෑලෙන් යවනු ලැබේ. විකල්පයක් ලෙස, අපි පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත ඔහුගේ නිශ්චිත උපදෙස් යටතේ ස්ථාවර ලිපිනයකට භාර දෙන්නෙමු.

6.2 පාරිභෝගිකයාට ලැබෙන ක්‍රෙඩිට් කාඩ්පත සක්‍රිය කර නොමැති නම්, CDB විසින් නියම කර ඇති උපදෙස් පරිදි අදාළ කාඩ්පත සක්‍රීය කළ හැකිය.

6.3 PIN (පුද්ගලික හැඳුනුම් අංකය) අලුතෙන් ලබා දෙන සෑම අවස්ථාවකම, එම අංකය වෙන වෙනම පාරිභෝගිකයා වෙත යැවීම සිදුකරනු ලැබේ.

 

7.ගිණුම් මෙහෙයුම් සහ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශනයන්

7.1 ක්‍රෙඩිට් කාඩ් ගිණුම කළමනාකරණය කිරීමට සහ ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් මිලදී ගැනීම් / මුදල් ලබාගැනීම් පිළිබඳ විස්තර පරීක්ෂා කිරීමේදී පාරිභෝගිකයාට උපකාර කිරීම සඳහා, අපි තැපෑලෙන් හෝ අන්තර්ජාල බැංකුකරණය හරහා ක්‍රෙඩිට් කාඩ්පත්වල ගනුදෙනු පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ පහසුකම සලසා ඇත්තෙමු. ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශය සෑම මසකම කලින් තීරණය කළ දිනයකදී ගණනය කෙරෙන අතර එය පාරිභෝගිකයාට දැනුම් දෙනු ලැබේ.

7.2 අදාළ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශනය නොලැබුනහොත්, ප්‍රකාශනයේ පිටපතක් ලබා ගැනීම සඳහා ඒ බව අප වෙත දන්වන ලෙස අපි පාරිභෝගිකයාට උපදෙස් දෙමු. නියමිත වේලාවට අදාළ ගෙවීම සිදු කිරීමට පාරිභෝගිකයාට හැකි වන පරිදි දින 10 ක් ඇතුළත එම ප්‍රකාශනයන් ඔවුන් වෙත යවනු ලැබේ.

7.3 සේවාව පිළිගැනීමට / ප්‍රතික්ෂේප කිරීමට ඇති විකල්පයන් ද සමඟින් අපගේ නව සේවාවන් සහ අගය එකතු කිරීම් පිළිබඳව අපි පාරිභෝගිකයාට දැනුම් දෙන්නෙමු. එවැනි නව සේවාවන් සඳහා අදාළ ගාස්තු /අයකිරීම් ද ඔවුන්ට දැනුම් දීම සිදුකරනු ලැබේ.

7.4 පාරිභෝගිකයාගේ කාඩ්පත් ගිණුමට තැන්පත් කළ චෙක්පතක් අගරු වුවහොත්, එවැනි චෙක්පත් ලැබීමෙන් දින 7 ක් ඇතුළත අපි නැවත එම චෙක්පත් පිළිබඳව අදාළ පාරිභෝගිකයාට දැනුම් දෙන්නෙමු.

7.5 අප විසින් නියම කරන ලද කාල සීමාව තුළ, ගෙවීම් කළ යුතු දිනට පෙර චෙක්පත් තැන්පත් කළද, අප විසින් සිදුකරන ලද දෝෂ / ප්‍රමාදයන් හේතුවෙන් නියමිත දිනට පසුව අදාළ ගෙවීම අප වෙත ලැබෙන අවස්ථාවක, අපි පාරිභෝගිකයාගෙන් අයකිරීමක් නොකරමු.

7.6 කිසියම් යෝජිත වැඩිදියුණු කිරීමක් සහ / හෝ පාරිභෝගිකයාගේ ණය සීමාවේ වැඩි කිරීම් පිළිබඳව අපි පාරිභෝගිකයාට කල්තියා දැනුම් දෙන්නෙමු. යෝජිත වැඩිදියුණු කිරීම සහ / හෝ පාරිභෝගිකයාගේ ණය සීමාවේ වැඩි කිරීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නියමිත කාල සීමාවක් ලබාදෙනු ඇත. පාරිභෝගිකයින් එවැනි දැනුම්දීම් ඉතා ප්‍රවේශමෙන් කියවා ඒ අනුව ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

7.7 පාරිභෝගිකයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත අනිසි ලෙස භාවිතා කිරීමෙන් ආරක්ෂා කරගැනීම පිළිබඳව අපි උපදෙස් ලබා දෙන්නෙමු.

7.8 කාඩ්පත් හිමියන්ගේ ගිවිසුමේ නියමයන් හා කොන්දේසි වලට අනුකූලව, පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත නැතිවී හෝ සොරකම් කර තිබේ නම් හෝ පාරිභොගිකයාගේ PIN අංකය හෝ වෙනත් ආරක්ෂක තොරතුරු තෙවන පාර්ශ්වයකට දැනගැනීමකට ලක්වුව හොත්, අපට දැනුම් දීමෙන් පසු, පාරිභෝගිකයාගේකාඩ්පත අක්‍රිය කිරීමට ක්ෂණික පියවර අප විසින් ගනු ඇත.

 

8. ගිණුම් විස්තර වල රහස්‍යභාවය

8.1 අපි පාරිභෝගිකයාගේ පුද්ගලික තොරතුරු පුද්ගලික සහ රහස්‍ය ලෙස සලකන්නෙමු (පුද්ගලයා තවදුරටත් අපගේ පාරිභෝගිකයෙකු නොවන අවස්ථාවකදී පවා). පහත සඳහන් සුවිශේෂී අවස්ථා හැරුණු විට, අපි පාරිභෝගිකයාගේ ගිණුම්වල ගනුදෙනු තොරතුරු තෙවන පාර්ශ්වයකට කිසිසේත් හෙළි නොකරන්නෙමු.

 a. නීතිමය අවශ්‍යතාවයන්හි දී

 b. පාරිභෝගිකයා ලිඛිතව, විද්‍යුත් තැපෑලෙන්, පටිගත කරන ලද දුරකථන ඇමතුමකින්, ෆැක්ස් මගින් හෝ කෙටි පණිවුඩ මගින් ඉල්ලා සිටී නම් (මෙම ඉල්ලීම් අනාගත විමර්ශන සඳහා සංරක්ෂණය කෙරේ).

 c. නීතියට අනුකූල වීම සඳහා.

 d. විගණනය සඳහා හෝ වංචා වැළැක්වීම සඳහා තොරතුරු ලබා දීමට ආදී අපට අවශ්‍යතාවයන් ඇති අවස්ථාවන්වල.

 

9. හිඟ මුදල් එකතු කිරීම

අපගේ බැංකුවේ හිඟ මුදල් එකතු කිරීමේ ප්‍රතිපත්තිය ගොඩනංවා ඇත්තේ ආචාරශීලීත්වය, සාධාරණ සැලකීම සහ ඒත්තු ගැන්වීම මත ය. පාරිභෝගික විශ්වාසය හා දිගුකාලීන සම්බන්ධතාවය පෝෂණය කිරීම පිළිබඳව අපි විශ්වාස කරමු. , පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ක්‍රියාකාරිත්වය සහතික කිරීමේ අරමුණින්, හිඟ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයා සම්බන්ධ කර ගැනීම සඳහා සමහර අවස්ථා වලදී නියමිත කාල වේලාවන් ට, එනම් උදෑසන 09.00 සිට සවස 07.00 ට, පෙර හෝ පසුව ඇමතුම් ලබා දෙනු ලැබේ.

අපගේ කාර්ය මණ්ඩලය හෝ අප නියෝජනය කිරීමට බලයලත් ඕනෑම පුද්ගලයෙකු විසින් හිඟ මුදල් එකතු කිරීමේදී සහ / හෝ තැන්පතුව නැවත පවරා ගැනීමේදී ඔහු / ඇයගේ අනන්‍යතාවය පැහැදිලිව හඳුන්වාදී පාරිභෝගිකයා සමඟ විනීත ආකාරයකින් කටයුතු කරනු ඇත.

පාරිභෝගිකයාට හිඟ මුදල් පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන අතර හිඟ මුදල් ගෙවීම සඳහා ප්‍රමාණවත් දැනුම් දීමක් ද අපි සිදු කරන්නෙමු.

පාරිභෝගිකයාගේ හිඟ මුදල් සහ අයකර ගැනීමේ ලිපි සම්බන්ධයෙන් පාරිභෝගිකයා විසින් කරන ලද විමසීම් හෝ ඉල්ලා සිටින පැහැදිලි කිරීම් අයකර ගැනීමේ දෙපාර්තමේන්තුවට ලැබුණු විට, වැඩකරන දින 10 ක් තුළ දී ඒවාට අදාළ ප්‍රතිචාරයන් ඔවුන් විසින් සිදු කරනු ලබයි.

 

10. සැකයට තුඩුදෙන ගනුදෙනු පිළිබඳව තහවුරු කිරීම

සමහර අවස්ථා වලදී පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ සැකයට තුඩුදෙන ගනුදෙනු තහවුරු කිරීම සඳහා නියමිත කාලවේලාවන් වන උදෑසන 09.00 හා සවස 07.00 ට පෙර හෝ පසුව ද ඇමතුම් ලබා දීම සිදුවිය හැකිය. මෙය සිදුකරනු ලබන්නේ පාරිභෝගිකයාගේ යහපත සඳහා අනවසර භාවිතය වැළැක්වීම සඳහා පරිදි ය.

 

11. පැමිණිලි හැසිරවීම

11.1 පාරිභෝගික පැමිණිලි අභ්‍යන්තරව හැසිරවීම

 • අපගේ සංවිධානය තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටියක් ඇත.

 • පාරිභෝගිකයින්ගේ පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වීමේ වේලාවන් සහ ඒ සඳහා ක්‍රියා කිරීමේ ක්‍රියාපටිපාටිය ඇතුළුව අපගේ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය පිළිබඳව අපගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.

 

11.2 ශ්‍රී ලංකාවේ මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිල්ලක් කිරීම

පාරිභෝගිකයාගේ පැමිණිල්ලට දින 30 ක් ඇතුළත අපෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් නොලැබුනේ නම් සහ පාරිභෝගිකයා වෙනත් මාර්ග ඔස්සේ විසඳුම් සෙවීමට අපේක්ෂා කරන්නේ නම්, අදාළ පාරිභෝගිකයාට ශ්‍රී ලංකාවේ මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වෙත අදාළ ගැටලුව විසඳාගැනීම සඳහා ළඟා විය හැකිය. ලිපිනය: අංක 143 ඒ, වජිර පාර, කොළඹ – 05
දුරකථන: +94 11 259 5624
ෆැක්ස්: +94 11 259 5625
විද්‍යුත්තැපෑල: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk

 

12 ක්‍රෙඩිට් කාඩ්පත අවලංගු කිරීම

12.1 අපට දැනුම් දීමෙන් සහ කාඩ්පත් හිමියන්ගේ ගිවිසුමේ සඳහන් අපගේ නියමයන් හා කොන්දේසි වලට අනුව අප විසින් නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් සහ හිඟ මුදල් ගෙවීමෙන් පසු පාරිභෝගිකයාට ක්‍රෙඩිට් කාඩ්පත අවලංගු කළ හැකිය.

12.2 පාරිභෝගිකයා කාඩ්පත් හිමියන්ගේ ගිවිසුම උල්ලංඝනය කර ඇත්නම්, ආරවුල් විසඳීමේ ක්‍රියාපටිපාටියට අනුව නොවිසඳුනු ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගනිමින්, අපට අදාළ පාරිභෝගිකයාගේ කාඩ් පත අවලංගු කළ හැකිය.

 

13 ප්‍රතිචාර සහ යෝජනාවන්

පාරිභෝගිකයන්ට අපගේ සේවාවන් පිළිබඳ ප්‍රතිචාරයන් ලබාදිය හැකි අතර ඔවුන්ගේ එම යෝජනාවන් අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට උපකාරී වේ.