CDB විශිෂ්ටයන්ට Virtual Infinity Awards 2019/20 උළෙළේදී ඇගයුම්

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) සමාගමේ කාර්ය මණ්ඩලය අතරින්, පසුගිය මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ටතම දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකාවන්ට සම්මාන පිරිනැමූ CDB Infinity 2019/2020 සම්මාන උළෙල පසුගියදා සුවිශේෂී ‘Virtual’ සම්මාන උළෙලක් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාවට CDB ශාඛා 71 ක සාමාජික සාමාජිකාවන් 1,700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, කොළඹ ඔරාබිපාශා මාවතේ පිහිටි CDB ප්‍රධාන කාර්යාලයේ සිට සම්මාන උළෙල සජීවීව විකාශය කරන ලදි.

නායකත්ව ගුණාංග සමගින් අති-විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ CDB සාමාජික සාමාජිකාවන් 140 කට අධික පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනමන ලදි. මීට අමතරව, CDB සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව, දීර්ඝකාලීන සේවය වෙනුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 100 දෙනෙකු ඇගයීමට ලක්කිරීම විශේෂත්වයක් විය. සභාපතිගේ අභියෝගතා කුසලානය, අධ්‍යක්ෂ මණ්ඩල අභියෝගතා කුසලානය, සහ CDB 100Mn RRT Super Gold සම්මානය ඇතුළු සම්මාන රැසක් මෙම සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන් වෙත පිරිනමන ලද අතර, මෙම වසරේ RRT Super Gold සම්මානලාභියා වෙත අලුත්ම Honda Civic මෝටර් රථයක් හිමි විය.

“CDB සමාගම අනාගතයේ ඇතිවන වෙනස්කම් හා අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දියහැකි සමාගමක් බවට පත්කිරීමට නම්, අපගේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණශීලී හැකියාවන් නිසි අගය කිරීමකට ලක්කළ යුතුයි. වසරක් පාසා අප CDB Infinity සම්මාන උළෙල සංවිධානය කරන්නේ ඒ වෙනුවෙන්. මෙය අපගේ සාමාජික සාමාජිකාවන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.” CDB හි කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසී ය.
මෙරට වඩාත්ම සාර්ථක සහ නිර්මාණශීලී විසඳුම් පිරිනමන, බැංකු නොවන මූල්‍ය ආයතන අතරින් එකක් වන CDB, සිය ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් සවිබල ගැන්වීම සඳහා, අවශ්‍යතාවන් නිවැරදිව හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පුරෝගාමී සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ. එමෙන්ම සමාගම මෙතෙක් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වයට තවත් එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එහි අතිදක්ෂ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ විශිෂ්ට ක්‍රියාකාරීත්වයයි.

“අනාගතයට ගැළපෙන සමාගමක් බවට පත්වීම සඳහා අපගේ හැකියාවන් පුළුල් කරන වැඩසටහන් කීපයක්ම අප මේ වසරේදී ක්‍රියාවට නැංවූවා. ඉදිරියේදී තවදුරටත් ජනතාවගේ ජීවිත පෝෂණය කරන ආකාරයේ තිරසාර ක්‍රමවේදයන් ක්‍රියාවට නංවමින්, මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශ්වාසනීය හා ශක්තිමත් සමාගමක් ලෙස ඉදිරියට යාම අපගේ අපේක්ෂාවයි.” CDB හි සභාපති ඇලස්ටෙයාර් කොරේරා මහතා පැවසී ය.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මුල්‍ය සමාගම් පහ අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටින අතර, ප්‍රසිද්ධ ලැයිස්තුගත ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති සිය ශාඛා ජාලය ඔස්සේ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා ක්ෂේත්‍ර‍යෙහි දැවැන්ත වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත.