CDB වෙතින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්

  • රු. මිලියන 10 ක් වටිනා වෙන්ටිලේටර්, මොනිටර් සහ වෙනත් අත්‍යවශ්‍ය උපාංග පරිත්‍යාග කරයි

2021 ජූනි, කොළඹ: ශ්‍රී ලංකාවේ තිරසාරත්වය සම්බන්ධ ඉහළම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර සිටින Citizens Development Business Finance PLC (CDB) ආයතනය, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රු. මිලියන 10ක වටිනාකමකින් යුත් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. එම රෝහලේ දැඩි සත්කාර ඒකකය සඳහා ඉක්මනින් අවශ්‍ය වී පැවති එම උපකරණ අතරට වෙන්ටිලේටර් සහ මොනිටර් යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් ඇතුළත් විය.

සමාජයීය වගකීම ප්‍රමුඛ කොටගත් Triple Bottom Line සංකල්පය CDB ආයතනයේ ව්‍යාපාර ක්‍රමෝපායේ අනිවාර්‍ය අංගයක් වන අතර, රටේ ප්‍රමුඛතම සමාගමක් ලෙස, ජාතියේ යහපැවැත්ම සම්බන්ධයෙන් තමන් සතු වගකීම පිළිබඳව එම ආයතනය හොඳින් දැනුවත් ය. ඒ නිසාම, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වී පැවති උපකරණ පරිත්‍යාග කිරීමට CDB ආයතනය වහාම පියවර ගත්තේ ය. වෙන්ටිලේටර් සහ මොනිටර් යන්ත්‍ර වලට අමතරව සිරින්ජ් පොම්ප, ඉන්ෆියුෂන් පොම්ප, multipara මොනිටර, සහ නවීකරණය කරන ලද ස්කූබා ඩයිවින් මුහුණු ආවරණ වැනි තවත් උපකරණ තොගයක්ද මෙම පරිත්‍යාගයට ඇතුළත් විය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළ වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පෙනී ගිය අවස්ථාවේදී, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට CDB ආයතනය කටයුතු කළේ ය. COVID-19 වැළැක්වීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත මෙම මුදල භාරදෙන ලදි.

COVID-19 රෝග ව්‍යාප්තියේ ආරම්භයේ සිටම, එහි බලපෑම ව්‍යාපාර වලට පමණක් සීමා නොවන බව අවබෝධ කරගත් CDB ආයතනය, ජනතාවගේ යහපැවැත්ම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළේ ය. ඒ අනුව ආයතනය විසින් COVID-19 පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයන්ද සිදුකරන ලදි. මීට අමතරව, සියලු දෙනාටම හැකි පමණින් උපකාර කිරීම සඳහා, තම ශාඛා පිහිටි ප්‍රදේශ වල දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පවුල් හඳුනාගෙන, ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටද CDB ආයතනය කටයුතු කළේ ය.