CDB සමාගමේ අතිනවීන පහසුකම් සහිත කුරුණෑගල ශාඛාවේ ඉදිකිරීම් ඇරඹේ

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සිය 25 වන සංවත්සරය නිමිත්තෙන්, නවීනතම තාක්ෂණයෙන් සමන්විත නව ශාඛාවක් කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙහි මුල් ගල තැබීමේ උත්සවය පසුගියදා එම ස්ථානයේදී පවත්වන ලදි. කුරුණෑගල නගර මධ්‍යයේ ඉදිවන මෙම ශාඛාව, තිරසාර ව්‍යාපාරික ක්‍රමෝපායක් සමගින්, වර්තමාන හා අනාගත වෙළඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන නවීනතම ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීම සඳහා CDB සමාගම දරන උත්සාහයේ එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

CDB සමාගමේ නව කුරුණෑගල ශාඛාවේ ඉදිකිරීම් මාස 18 කින් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ගනුදෙනු සඳහා විවෘත වූ පසුව එය විශිෂ්ට පාරිභෝගික සේවාවකට අමතරව, ඩිජිටල් ගනුදෙනු වලට ප්‍රමුඛත්වය ලබාදෙන යුගයක අවශ්‍යතා සපුරාලිය හැකි නවීනතම තාක්ෂණයෙන්ද සමන්විත වනු ඇත. CDB සමාගම හඳුන්වා දී ඇති, පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන හා සේවාවන් සමගින් එය මූල්‍ය ගනුදෙනු සම්ප්‍රදායේ පෙරළියක් ඇතිකිරීමට සමත් වනු නොඅනුමාන ය.

මෙම ශාඛාවේ තවත් විශේෂත්වයක් වන්නේ, නවීනතම පුහුණු හා සංවර්ධන පහසුකම් රැසක්ද ඊට ඇතුළත් වීමයි. විශිෂ්ටතම කණ්ඩායමක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් CDB පුහුණු සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා මෙම පහසුකම් භාවිතා කිරීමට, CDB සමාගමේ අනෙකුත් ප්‍රාදේශීය ශාඛා වලටද අවස්ථාව ලැබෙනු ඇත.

නව කුරුණෑගල ශාඛාව ඉදිකිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට CDB සමාගමේ සභාපතිතුමන්, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරවරුන් සහ කුරුණෑගල ශාඛාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


යෝජිත CDB කුරුණෑගල ශාඛාව ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ ඇසින්