CDB සමාගම 2021 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගනී

අඛණ්ඩව සිව්වැනි වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වෙයි
කාණ්ඩ සම්මාන තුනක්ද දිනාගනී
දූරදර්ශී තිරසාර මූලධර්ම මත පදනම් වූ ප්‍රායෝගික පියවර මත තම ව්‍යාපාරය ගොඩනැංවීමේදී පෙන්නුම් කළ සාර්ථකත්වය හේතුකොටගෙන, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizen’s Development Business Finance PLC – CDB) සමාගම පසුගියදා පැවති හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේ (Best Corporate Citizen Sustainability Awards – BCCSA) දී සම්මාන 5 කින් පිදුම් ලැබීමට සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද මෙම සම්මාන උළෙලේදී, තිරසරත්ව මූලධර්ම සියල්ල සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින්, වාර්ෂික පිරිවැටුම රු. බිලියන 15 ට වැඩි මහා පරිමාණ සමාගම් හා ආයතන ඇතුළත් වන කාණ්ඩයේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගැනීමට CDB සමාගමට හැකියාව ලැබිණි.
එමෙන්ම, අඛණ්ඩව සිව්වැනි වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට ද CDB මෙහිදී සමත් වූ අතර, COVID-19 ව්‍යාප්තිය හමුවේ අනුගමනය කරන ලද විශිෂ්ටතම ක්‍රමවේද වෙනුවෙන්ද සම්මානයක් හිමි විය. ඊට අමතරව, සේවක සම්බන්ධතා සඳහා වන කාණ්ඩ සම්මානයද, විශිෂ්ටතම ඉදිරිපත් කිරීමක් (Best Presentation of an Application) සඳහා වන සම්මානයද CDB සමාගම විසින් දිනාගන්නා ලදි.
“මෙම වසරේදී අප වෙත හිමි වූ සම්මාන පහම අපට සුවිශේෂී වන අතර, තිරසාරත්වයේ මූලිකාංගවලට අනුකූලව කටයුතු කළ සමාගම් හා ආයතනවලට මෙම සම්මාන පිරිනමනු ලැබුවා. වසර 26 ක කාලයකදී පියවරෙන් පියවර දියුණු වූ අප සමාගමේ ගමන්මග කිසිසේත්ම පහසු එකක් වූයේ නැහැ. එහෙත් අද වනවිට මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස, රටේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතරට එක්වීමට අපට හැකි වී තිබෙනවා. එමෙන්ම අභියෝග රාශියක් හමුවේ එකට එක්වී සමාගමේ ආදායමත් ලාභයත් ඉහළ නංවා ගනිමින්, සමාගම අඛණ්ඩව දියුණුව වෙත රැගෙන යාමට අපගේ කණ්ඩායම සමත් වූවා.” CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසී ය.
ආරම්භයේ පටන්ම CDB සමාගමේ ඉදිරි ගමනේ පදනම වූයේ, තිරසාරත්වයට මුල්තැන දීම සහ පෙරළිකාරී නව තාක්ෂණයන් භාවිතයට ගැනීම ය. “අප උනන්දු වන්නේ හුදෙක් සංඛ්‍යා ලේඛන ගැන පමණක් නොවේ. අපගේ උපාය ක්‍රියාවෙන් ඔප්පු කරමින්, ව්‍යාපාරික ක්‍රමෝපායන් ඔස්සේ ආයතනික ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම අපගේ අරමුණ වී තිබෙනවා. තිරසාරත්වය සැමවිටම අප ගුණාත්මක හා ප්‍රමාණාත්මකව මෙහෙයවන මූලික ක්‍රමෝපායක් වී ඇත්තේ මේ නිසයි.” මහේෂ් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසී ය.
මේ ආකාරයට තිරසාරත්වයට හා නවීන තාක්ෂණයට මුල්තැන දීම නිසා, ව්‍යාපාර ක්ෂේත්‍රයේ සම්මත සීමාවන් අභිභවා යමින් පරිසරය හා ප්‍රජාව සම්බන්ධ සෑම මූලිකාංගයක්ම සපුරාලීමට CDB සමාගමට හැකි වී ඇත. දිගින් දිගටම සමාජයට යහපත සලසන සමාගමක් ලෙස කටයුතු කරන අතරම තම කාබන් මට්ටම තවදුරටත් අවම කරගනිමින් කාබන් ශූන්‍ය තත්ත්වය කරා ළඟා වීම CDB හි අපේක්ෂාව වී තිබේ. මෙම තිරසාරත්ව ඉලක්ක වලට අත්වැලක් වන ආකාරයට සැලසුම් කර ඇති තාක්ෂණික ක්‍රමෝපාය, භෞතිකව තම ශාඛා ජාලය ව්‍යාප්ත කරනු වෙනුවට, නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම හා තිරසාර ලෙස සේවාවන් ව්‍යාප්ත කිරීමට CDB සමාගමට මහඟු පිටිවහලක් වී ඇත. මෙම තාක්ෂණ භාවිතාව හේතුවෙන්, රටේ වඩාත්ම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල වෙසෙන ජනතාව වෙත පවා මූල්‍ය සේවාවන් සමීප කරවීමට CDB සමාගමට හැකියාව ලැබී තිබේ.
CDB ආයතනයේ තිරසාර ගමන්මග සකස් වී ඇත්තේ CDB Advance සංකල්පය මගිනි, එමෙන්ම CDB Advance හි අරමුණ වන්නේ 2030 වන විට හරිත ආර්ථික් සඳහා දායක වීම සහ තිරසාර මූල්‍යකරණයේ ප්‍රමුඛයා වීමයි. CDB Advance සංකල්පය පදනම් කරගත් CDB සමාගමේ තිරසාරත්ව සැලසුම ප්‍රධාන වශයෙන් මූලිකාංග දෙකකින් සමන්විත වේ. කාබන් ශුන්‍යය තත්ත්වය ළඟා කරගැනීම ඉන් පළමුවැන්න වන අතර, සමාජ විඥානයක් ඇති කිරීම එහි දෙවැනි මූලිකාංගයයි.
“එක්සත් ජාතීන්ගේ තිරසාරත්ව සංවර්ධන ඉලක්ක වලට සමගාමීව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය, පිරිසිදු බලශක්තිය, වගකීම් සහගත පරිභෝජනය, ජීවයේ පැවැත්ම සහ හවුල්කාරිත්වයන් යන අංශ 8 කෙරෙහි අප ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. මෙම අංශ 8 යටතේ පුනර්ජනනීය බලශක්ති මත පදනම් වූ ගමනාගමනය සහ ගෘහස්ථ විසඳුම්, හවුල් ආර්ථිකයක් නිර්මාණය කිරීම, ජෛව විවිධත්වය සහ සංරක්ෂණයට දායක වීම, මූල්‍ය අන්තර්කරණය, ප්‍රජා සත්කාර, කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ මනා දැනුමකින් අවබෝධයකින් යුතු දායකත්වය සහ වගකිවයුතු සහ තිරසාර සන්නාමකරණය යන අංශ වලට මූලික අවධානයක් යොමුවනවා.” CDB සමාගමේ තිරසාර හා කුසලතා කළමනාකරණ ප්‍රධානී අරෝෂි රණතුංග මහත්මිය පැවසුවා ය.
“රටේ පුරෝගාමී සමාගමක් ලෙස, අනාගත පරපුර වෙනුවෙන් අප ජීවත් වන ලෝකය යහපත් ලෙස පවත්වා ගැනීමට දායක වීම අප සතු වගකීමක්. මෙම උත්සාහය තුළදී, දුෂ්කර පසුබිම් වලින් පැමිණෙන උපාධිධාරීන් ඇතුළුව ග්‍රාමීය තරුණ තරුණියන්ට අපගේ කණ්ඩායම හා එක්වීමට අප අවස්ථාවන් ලබා දෙනවා. පරිසර හිතකාමීත්වය අපගේ ව්‍යාපාරික මූලිකාංග වල අනිවාර්ය අංගයක් බවට පත්කිරීමට මේ කණ්ඩායම මහත් සේ කැපවී කටයුතු කරනු දැකීම අපට මහත් සතුටක්. නව්‍යකරණයෙන් සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගන්වමින් යන ගමනේදී CDB ආයතනය ‘ සාමාන්‍ය මිනිසුන් තුළින් අසාමාන්‍ය ප්‍රතිඵල’ ළඟාකර ගත හැකි බවට කදිම ආදර්ශයක් සපයමින් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වී තිබෙන්නේ එනිසයි.” අරෝෂි රණතුංග මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.