CDB, ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20 කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන මෙහි මූලික අරමුණ වන්නේ, ළමා පරපුරේ තාක්ෂණ දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින් වඩාත් සුහුරු හා තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වීම ය.

මීට වසර 13 කට පෙර ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ කළුතර, කුරුවිට, කෙහෙල්පන්නල, මොණරාගල, මදුරන්කුලිය, කඳපොළ, කුරුණෑගල, අනුරාධපුර, යාපනය සහ තිස්සමහාරාමය යනාදී ප්‍රදේශවල පිහිටි පාසල් 11 ක් වෙත මේ ආකාරයේ සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනමා තිබේ.

ග්‍රාමීය ප්‍රජාවන් තුළ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමෙන් පසු, ළමා පරපුරට ඩිජිටල් ලෝකය හා සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ කුසලතා සහ දැනුම ලබා ගත හැකි වන පරිදි දිවයින පුරා පිහිටි පාසල් වෙනුවෙන් තවත් සුහුරු පරිගණක විද්‍යාගාර 20ක් කඩිනමින් පරිත්‍යාග කිරීමට CDB ප්‍රතිඥයා දී තිබේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර සිව්වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්න පදනම් කරගත් ව්‍යාපෘතියකි. මේ ඔස්සේ ගුණාත්මක භාවය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ පහසුකම් සපයන අතරම රටේ පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම CDB සමාගමේ බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ නවතම අදියරේ පළමු සුහුරු පරිගණක විද්‍යාගාරය කොළොන්නාව ශාන්ත ජෝසප් විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අතර, තවත් විද්‍යාගාර දෙකක් ඌව පළාතේ කුරුවිතැන්න මහා විද්‍යාලයේ සහ මධ්‍යම පළාතේ අටබාගේ උඩුගම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදි. මෙම පරිත්‍යාගයන් සිදුකිරීමට සුදුසුම පාසල් තෝරාගැනීම සඳහා CDB සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ඒ සඳහා විශේෂ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කෙරේ.

CDB සමාගම ක්‍රියාවට නංවා ඇති තිරසාරත්ව සවිබල ගැන්වීමේ සහ දැනුම ව්‍යාප්ත කිරීමේ මෙහෙවර තුළින් රටේ සෑම පුරවැසියෙකුටම සුවිශේෂී අවස්ථා රැසක් විවර වේ. මෙය හුදෙක් ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ පරපුරේ තොරතුරු තාක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ මෙහෙවරක් පමණක් නොව, ආකල්ප පුළුල් කරමින්, ඔවුන්ට අනාගතයේ ජීවිතය ජයගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය සහ අනෙකුත් කුසලතා වැඩිදියුණු කිරීමේ ජාතික මට්ටමේ මෙහෙවරකි.