CDB අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතර සිටින මූල්‍ය ආයතනයක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) මගින් වසර 30 කට අධික කාලයක පටන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රිය තරගාවලියකි. 

මෙම අනුග්‍රාහකත්වය නිවේදනය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී, CDB සමාගමේ විධායක අධ්‍යක්ෂ / Chief Emergent Business Officer කාර්තික් ඉලංගෝවන් මහතා විසින් අදාළ අනුග්‍රාහකත්වය වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදි. මෙම අවස්ථාවට MCA හි සභාපති නලින් වික්‍රමසිංහ, විධායක කමිටු සාමාජික/තොරතුරු හා තාක්ෂණ කමිටුවේ සභාපති හසිත දසනායක, ලේකම් කේ.ඩී.එස්. කණිෂ්ක, අනුග්‍රාහක කමිටුව සහ CDB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම ගෞරවනීය ආරාධිතයා ලෙස CDB සමාගමේ විධායක අධ්‍යක්ෂ/ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන සසින්ද්‍ර මුණසිංහ සහ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ ඇතුළු නිලධාරීන් සහභාගී විය.

මෙම අවස්ථාවේ මාධ්‍ය අමතමින් CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා පැවසුවේ මෙවැනි ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් තරගාවලියක් සඳහා නැවත වරක් අනුග්‍රහය ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය කැපවීම ලබාදීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවයි. “වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නොකඩවා සහය දැක්වීමට හැකිවීම පිළිබඳ CDB සමාගම උද්‍යෝගයෙන් පසුවන අතර එය වඩාත් වැදගත් වන්නේ මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත තරු සවිබල ගැන්වීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ අරමුණ ඇතිව සිදු කිරීමයි. ඒ වගේම සියලුම කණ්ඩායම්වලට අප සුබපැතුම් එක් කරන අතරම ප්‍රබෝධමත් තරගාවලියක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 80කට වැඩි සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ය. A කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගම්, තර්ස්ටන් විද්‍යාලයීය සහ කොල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් 12ක් එක් ක්‍රීඩාංගණයක තරග 15 බැගින් ක්‍රීඩා කරනු ඇත. කණ්ඩායම් 72 කින් සමන්විත B කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගම්, වෙස්ලි විද්‍යාලයීය, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණවල සහ මත්තේගොඩ සැපර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන් තරග 96කට සහභාගී වනු ඇත. 

MCA වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එළඹෙන අගෝස්තු 30 වන දින ආරම්භ වන අතර සැප්තැම්බර් 4 වන දින MCA ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයෙන් නිමාවට පත් වේ. තරගාවලියේ ජයග්‍රාහකයින්ට හට කුසලාන සහ ත්‍යාග පිරිනැමීම ද එදින සිදුකෙරේ.