අනපේක්ෂිත අභියෝග හමුවේ වුව ද CDB ආයතනය 2019/20 මුල්‍ය වර්ෂය ජයග්‍රාහී ලෙස අවසන් කරයි

  • ව්‍යාපාර සමූහයේ මුල්‍ය වර්ෂය අවසානයේ බදු පසු ලාභය රු. බිලියන 1.8

  • 2020/21 පළමු කාර්තුවේ සමස්ත වත්කම් රු. බිලියන 96.7

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමූ පසුබිම තුළ ද CDB ආයතනය 2020 ජුනි මස 30 වන දිනට 2020/21 මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රු. බිලියන 96.7 ක ශේෂ පත්‍රයකට හිමිකම් කීමට සමත් විය. එම කාලය තුළ CDB ආයතනය වාර්තා කළ රු. මිලියන 487.9 ක බදු පසු ලාභය, පසුගිය මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සමඟ සැසඳීමේදී 63% ක කැපීපෙනෙන වර්ධනයකි. මෙම ප්‍රතිඵල 2020 මාර්තු මස 31 වන දිනෙන් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය නිකුත් කරන ලද විගණනය කරන ලද මුල්‍ය වාර්තා සහ 2020 ජුනි මස 30 වන දිනෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා මෑතකදී කොළඹ කොටස් වෙළෙඳපොලට (CSE) නිකුත් කරන ලද අන්තර්කාලීන ප්‍රතිඵල ද මඟින් ඉදිරිපත් කර ඇත.

 

සභාපති – විධායක නොවන අධ්‍යක්ෂක, රංග අබේනායක

 

ගතවූ අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ CDB ආයතනය අත්කර ගත් ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා සඳහන් කළේ, තිරසාරත්වය ඒකාබද්ධ කර ගත් ඩිජිටල් සහ විද්‍යුත්-වාණිජ සේවා කේන්ද්‍රීය ව්‍යාපාරික ක්‍රමෝපාය සමඟින් CDB ආයතනය පශ්චාද් COVID-19 කාලය තුළ තිරසර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කරන බවය.

පුළුල් පරාසයක විහිදුනු පාරිභෝගික අවශ්‍යතා සහ ආර්ථික ක්‍රියාකාරකම්වල විචලනයන් මධ්‍යයේ වුව ද CDB ආයතනය 2019/20 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 17.4 ක ආදායමක් හිමිකර ගැනීමට සමත් වූ අතර එය 3% ක වාර්ෂික වර්ධනයකි. ශුද්ධ පොළී ආදායම රු. බිලියන 6.6 කින් එනම්, 21% කින් වර්ධනය වූ අතර CDB සමූහයේ බදු පෙර ලාභය රු. බිලියන 2.3 ක මට්ටමේ පවත්වා ගැනීමට සමත් විය. මුල්‍ය වර්ෂය අවසානයේදී CDB සමූහයේ ඒකාබද්ධ ශේෂ පත්‍රය රු. බිලියන 93.2 ක් ලෙස ද ශුද්ධ වත්කම් ප්‍රමාණය රු. බිලියන 11.6 ක් ලෙස ද වාර්තා විය. එම සමූහයේ පිරිවැයට ආදායම් අනුපාතය 48.79% ක් දක්වා අඛණ්ඩව වර්ධනය වූ අතර වත්කම් ප්‍රතිලාභ අනුපාතය 1.98% ක් ලෙස ද, හිමිකම් ප්‍රතිලාභ අනුපාතය 17.99% ක් ලෙස ද වාර්තා විය. කොටසක ඉපැයුම් රු. 26.15 ක් ලෙස ද, කොටසක ශුද්ධ වත්කම් ප්‍රමාණය රු. 164.76 ක් ලෙස ද සඳහන් විය.

කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර

ගතවූ වසරේ වැඩි කාලයක් තුළ පැවති ආර්ථික අවිනිශ්චිතතාව මධ්‍යයේ වුව ද, CDB ආයතනය හිමිකම් නිකුතුවක් සාර්ථකව නිමා කිරීමට සමත් වීම විශේෂත්වයකි. පූර්ණ සහභාග හිමිකම් නිකුතුවක් වූ එමඟින් රු. මිලියන 1,019 ක නව ප්‍රාග්ධනයක් අත්කර ගැනීමට CDB ආයතනයට හැකි විය. එමඟින් එම ආයතනයේ ශේෂ පත්‍රය ශක්තිමත් වූ අතර ආයතනය කෙරෙහි ආයෝජකයන් තුළ ඇති ඉහල විශ්වාසය ද මැනවින් පිළිබිඹු කෙරිණි. CDB ආයතනයේ ශේෂ පත්‍රයේ 90% ක ප්‍රමාණයක් ක්‍රමානුකුල මුදල් ප්‍රවාහයක් සහ වත්කම් මත පදනම් වූ ණය දීම් ඇතුළු ආදායම් උත්පාදන වත්කම්වලින් සමන්විතවන අතර පොළිය සහිත අරමුදල්වල සංයුතිය 57% වූ තැන්පතු සහ 43% වූ ණය වශයෙන් යහපත් සංකලනයකින් ද සමතුලිත වත්කම් හා වගකීම් කල්පිරීමේ තත්ත්වයකින් ද සමන්විත වේ.

CDB ආයතනයේ ශක්තිමත් කාර්යසාධනය 2020/21 නව මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ ද අඛණ්ඩව පවත්වා ගැනීමට එම ආයතනය සමත්ව සිටී. පළමු කාර්තුව අවසානයේදී CDB ශේෂ පත්‍රය රු. බිලියන 96.7 ක මට්ටමට ළඟා වී ඇත. බදු පසු ලාභය රු. මිලියන 487.9 ක් ලෙස වාර්තාවන අතර එය 63% ක කැපීපෙනෙන වර්ධනයකි. CDB ආයතනයේ පළමු සහ දෙවන මට්ටමේ ප්‍රාග්ධන අනුපාත පිළිවෙලින් 10.14% සහ 12.87% ලෙස වාර්තාවන අතර එය නියාමන අවශ්‍යතාව පැහැදිලිව සපුරාලීමකි. නියාමන රෙගුලාසිවලට අනුව පැවතිය යුතු අවම ද්‍රවශීලතා අනුපාතය 10% ක් ලෙස තිබියදී CDB ආයතනයේ ද්‍රවශීලතා අනුපාතය 18.49% ක ඉහල අගයක් වාර්තාකර ඇත. මේ අතර, එම ආයතනයේ ප්‍රතිඅත්පත්කරගත් තොග සහිතව දළ අක්‍රීය ණය අනුපාතය (NPL) 7.93% ක සුළු වැඩිවීමක් පෙන්නුම් කළේය. ප්‍රතිඅත්පත්කරගත් තොග හැර ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 2.68% ක් ලෙස වාර්තා වූ අතර එම අගයන් 2020 මාර්තු මස 31 වනදා වන විට පිළිවෙලින් 7.57% සහ 2.55% ක් ලෙස වාර්තා විය.

CDB ආයතනයට අනුබද්ධිත කල්බදු සඳහා විශේෂිත පරිපාලිත සමාගමක්වන යුනිසන්ස් කැපිටල් ලීසිං (UCL) ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ක්ෂේත්‍රයේ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ඒකාබද්ධ කිරීම වත්මන් කාර්තුවේ සිදු වූ සුවිශේෂී සිදුවීමකි.

ගතවූ වසර තුළ ද CDB ආයතනය අඛණ්ඩව ඇගයුමට ලක් විය. වසර 25 ක ඉතිහාසයේ පළමු වරට Business Today Top 30 ලැයිස්තුවට ඇතුළත් වූ CDB ආයතනය විශිෂ්ටත ම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී විශිෂ්ටත ම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට එක් වීමට ද, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මුල්‍ය සේවා අංශයේ ජයග්‍රාහකයා වීමට ද සමත් විය. කැපවීම, ධෛර්යය සහ උනන්දුව පෙරටු කර ගත් කණ්ඩායමක් සමඟින් ශක්තිමත්ව, ස්ථාවරව සහ දැක්මකින් යුතුව පශ්චාද් COVID-19 වසංගත කාලය තුළ CDB ආයතනය පෙරට ගමන් කරයි.