CDB සමාගම ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩය ජයගනී

CDB සමාගමේ තිරසාරත්ව විධායක නිලධාරිනී වජීශා එදිරිසිංහ, සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩේනියි වෙතින් සම්මානය ලබාගත් අවස්ථාව. ACCA දකුණු ආසියානු අංශයේ ප්‍රධානී නිලුෂා රණසිංහ, ACCA Sri Lanka සාමාජික ජාල මණ්ඩලයේ සභාපති ජෙහාන් පෙරින්පනායගම් සහ CDB සමාගම නියෝජනය කළ තවත් පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) මෙවර ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයක ජය තමන් සතු කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 19 වන වරට ය. අති-උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම සම්මාන උළෙලේදී, විනිවිදභාවය, වගවීම හා අවංකභාවය වැනි ගුණාංග මුල්කරගෙන ආයතනික වාර්තාකරණය සිදුකිරීම වෙනුවෙන්, මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට CDB සමාගම සමත් විය.

මීට පෙරද අවස්ථා 5 කදී CDB සමාගම ACCA Sri Lanka තිරසාරත්ව සම්මානවලින් පිදුම් ලබා තිබේ. එමෙන්ම 3Ps සංකල්පය (People.Planet.Profit) ඔස්සේ තිරසාරත්වය වෙනුවෙන් අඛණ්ඩව කැපවීම හේතුවෙන්, ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට එක්වීමටද CDB සමාගමට හැකියාව ලැබිණි.

CDB සමාගම වෙනුවෙන් සම්මානය පිළිගනිමින්, එහි අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසුවේ, “තිරසාර සංවර්ධන ඉලක්ක කරා යෑම සඳහා CDB නිරතුරුවම උත්සුක වන අතර තිරසාර මූල්‍ය වාර්තාකරණය එම ප්‍රයත්නයෙහි මුලික පියවරක් වනු ඇත. ඒ මන්ද යත්, තිරසාරත්වය යනු CDB සමාගමේ ව්‍යාපාර ආකෘතියේ අනිවාර්ය අංගයක් ය. ශ්‍රී ලංකාව මෙන්ම මුළුමහත් ලෝකයම පෙර නොවූවිරූ සමාජ-ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අද දිනයේ, තිරසාර සංවර්ධන ඉලක්කවල වැදගත්කම අන් කවරදාටත් වඩා හොඳින් අපට දැනෙමින් තිබෙනවා. තිරසාරත්වය වෙනුවෙන් අප දරන මේ උත්සාහයන්, සමාගමේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම යහපතට හේතු වනු ඇති බව අපට විශ්වාසයි.”

සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් එහි පාර්ශ්වකරුවන් ලබාදෙන දායකත්වය අගය කළ තෙන්නකෝන් මහතා, ඔවුන්ද මෙම තිරසාරත්ව ක්‍රමෝපාය අනුව කටයුතු කිරීම තුළින්, මූල්‍ය අන්තර්කරණය සහ නවෝත්පාදනය සම්බන්ධ ඉලක්ක ළඟා කර ගනිමින්, නව්‍යකරණයෙන් සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීමට සමාගමට හැකි වනු ඇතැයි විශ්වාසය පළකළේ ය.

ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන වැඩසටහන ලොව රටවල් 25 කට අධික සංඛ්‍යාවක පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන සමාගම් හා ආයතන සංඛ්‍යාව 3,000 කට අධික ය. මෙම සම්මාන උළෙලේදී සමාගම් හා ආයතනවල තිරසාරත්ව භාවිතාවන් මෙන්ම, ව්‍යාපාරික ක්‍රමෝපාය, ආයතනික පාලනය සහ තිරසාරත්වය අතර පවතින සමීප සම්බන්ධතාවද ඇගයීමට ලක්කෙරේ. පූර්ණ තිරසාරත්ව තොරතුරු අනාවරණය වෙනුවෙන් එහිදී සම්මාන හිමි වන අතර, වාර්තාකරණය ඔස්සේ ආයතනික විනිවිදභාවය, වගවීම, ප්‍රතිචාර්යතාව (Responsiveness) සහ අවංකභාවය යනාදී ගුණාංග ප්‍රවර්ධනය කිරීමද දිරිමත් කරයි.

CDB කණ්ඩායම සම්මානය සමග