CDB සමාගම COVID-19 පාලනය කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් ලබාදුන් පරිත්‍යාගයන්ගේ වටිනාකම රු. මිලියන 50 ඉක්මවයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගයන්ගේ වටිනාකම රු. මිලියන 50 ඉක්මවා තිබේ. මෙහි ආසන්නත ම පියවර වශයෙන්, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේ ය. රු. මිලියන 12.5 ක වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත භාරදෙන ලදි. මෙම ඔක්සිජන් සාන්ද්‍රකරණ යන්ත්‍ර අනුරාධපුර මෙත්සිරිසෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, ඇඹිලිපිටිය මූලික රෝහල සහ තංගල්ල මූලික රෝහල යන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිත ය.

මීට පෙර CDB සමාගම විසින්, නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක පරිත්‍යාගයක් සිදුකරන ලදි. එමෙන්ම බූස්ස නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රු. මිලියන 8.8 ක වියදමින් හදිසි ප්‍රතිකාර ඇඳන්, මල්ටි-පැරාමීටර සහ ස්ථාවර ඔක්සිජන් නල පද්ධතියක් ද, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රු. මිලියන 10.2 ක වියදමින් දැඩි සත්කාර මොනිටර් යන්ත්‍රයක් සහ වෙන්ටිලේටර් යන්ත්‍රයක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද, කඳාන දිස්ත්‍රික් රෝහල සහ නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල යන රෝහල් වලට රු. මිලියන 4.1 ක වියදමින් හදිසි ප්‍රතිකාර ඇඳන් සහ ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කිරීමට CDB සමාගම කටයුතු කළේ ය.

COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට අත්වැලක් වීම සඳහා CDB කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඉමහත් උනන්දුවකින් යුතුව ඉදිරිපත් වූහ. ඔවුන් විසින් CDB ශාඛා ජාලයේ ශාඛා 71 හරහා රු. මිලියන 8 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මලු 1,500 ක් දිවයින පුරා විපතට පත් පවුල් වෙත පරිත්‍යාග කරන ලදි.

මුළුමහත් දේශයම COVID-19 වසංගතයේ ග්‍රහණයට නතු වූ මොහොතක, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා පරීක්ෂණ පහසුකම් සපයමින්, තත්ත්වය පාලනය කිරීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට CDB සමාගම සහ එහි කාර්ය මණ්ඩලය කටයුතු කළේ ය.

CDB සමාගමේ තිරසාරත්ව ක්‍රමෝපාය, ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනු ලබන තිරසර වටිනාකම්, මූලධර්ම සහ විශිෂ්ට ක්‍රමවේද එකතුවකින් සමන්විත වේ. රටට සහයෝගයක් අවශ්‍ය ඕනෑම මොහොතක එම සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් වීමද එහි අනිවාර්ය අංගයකි. සමගිය ඔස්සේ ඕනෑම අභියෝගයක් ජයගනිමින් වඩාත් යහපත් හෙට දවසක් උදාකර ගැනීමට හැකි වන්නේ ය යන විශ්වාසය පෙරදැරිව, රටේ ඉදිරි ගමනට අත්වැලක් වීම සඳහා CDB සෑම විටම සූදානමින් සිටී.

CDB පිළිබඳව

ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම තිරසර සමාගම් දහය සහ ප්‍රමුඛත ම ව්‍යාපාර තිහ මෙන්ම විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතන පහ අතර රැඳෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය සහ නවීන තාක්ෂණය සමගින් මෙරට මුල්‍ය හුවමාරු ක්‍රමවේද දැවැන්ත වෙනසකට ලක්කර ඇත. වැඩිදුර විස්තර සඳහා www.cdb.lk වෙත පිවිසෙන්න.

ඡායාරූප:

1.
CDB සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ යන්ත්‍ර භාරදුන් අවස්ථාව

services

2.
CDB කණ්ඩායම විසින් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා සහ උපදේශක නිර්වින්දන වෛද්‍ය දීපානි නන්දසේන මහත්මිය වෙත අදාළ වෛද්‍ය උපකරණ භාරදුන් අයුරු