DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ බැංකුවක් මෙන්ම විදේශ මුදල් සේවාවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන හතරෙන් එකක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අභ්‍යන්තර ප්‍රේෂණ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. ඒ අනුව CDB සමාගම, DFCC බැංකුව මගින් හඳුන්වා දෙන ලද පරිපූර්ණ, සුරක්ෂිත, කාර්යක්ෂම හා විශ්වාසනීය මුදල් හුවමාරු සේවාවක් වන Lanka Money Transfer (LMT) සමග අත්වැල් බැඳගත් 10 වැනි මූල්‍ය ආයතනය බවට පත් වී තිබේ. මෙම හවුල්කාරීත්වය යටතේ, වසර 65 කට වැඩි පළපුරුද්දක් සහිත DFCC බැංකුව සහ, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශක්තිමත් මූල්‍ය ආයතනයක් වන CDB සමාගම, ශ්‍රී ලංකාවට වඩාත් පහසුවෙන් මුදල් එවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම සඳහා එක්ව කටයුතු කරනු ඇත.

මෙම හවුල්කාරීත්වය මගින් ගනුදෙනුකරුවන්ට මෙන්ම ආයතන දෙකටද ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් බැංකු නොවන මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඕමාන්, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව, ජපානය, හොංකොං සහ සිංගප්පූරුව යන රටවල සිට මුදල් එවීමට පහසුකම් හිමි වේ. DFCC බැංකුව මේ වනවිට මුදල් ප්‍රේෂණ සේවාවන් සම්බන්ධයෙන් තමන්ට හිමි වී ඇති පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගනිමින් සිටින අතර, CDB සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

“අපගේ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කරමින් ගනුදෙනුකරුවන්ට මෙරටට මුදල් එවීමට තවත් විකල්පයක් ලබාදීම සඳහා මේ ආකාරයට CDB සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ සේවාවන් ලබාගැනීම වඩාත් පහසු වීම සහ එකම තාක්ෂණික සේවා ක්‍රමවේදයක් භාවිතා කිරීමට හැකි වීම යන සාධක තුළින් දෙපාර්ශ්වයටම වාසි රැසක් ගෙනෙන පියවරක් වේවි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් සැපයීමට අප සෑම විටම උත්සහ කරනවා. මෙම හවුල්කාරීත්වය එම උත්සාහය තවදුරටත් ශක්තිමක් කරන පියවරක් වනු ඇති බවට සැකයක් නැහැ.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

“අපගේ ගනුදෙනුකරුවන්ට පහසු, බාධාවකින් තොර, සුරක්ෂිත සහ විශ්වාසදායක ලෙස විදෙස් මුදල් ප්‍රේෂණ ශ්‍රී ලංකාවට එවීම සඳහා සේවා ක්‍රමයක් ලබාදීමට DFCC බැංකුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සලසන අතරම, රට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ වැඩිකර ගැනීමට දායක වන පියවරක්ද වේවි.” CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසී ය.

LMT (Lanka Money Transfer) මුදල් ප්‍රේෂණ සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට විශිෂ්ට තලයේ පාරිභෝගික සේවා අත්දැකීමක් හිමි වන අතර, සෑම ගනුදෙනුවක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකෙරෙන සහ, අදාළ මුදල එසැණින් මුදල් ලබන්නාගේ ගිණුමට බැර කිරීමට මෙම ක්‍රමවේදයෙන් කටයුතු සලසා ඇත. මෙය එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසයෙන් යුතුව තම ආදරණීයයන් වෙත මුදල් එවීමට ලැබෙන මහඟු අවස්ථාවකි. LMT මුදල් ප්‍රේෂණ සේවාව අතිශයින් වේගවත් සේවාවක් නිසා එය ගනුදෙනුකරුවන් වැඩි වශයෙන් විධිමත් ප්‍රේෂණ ක්‍රම භාවිතා කිරීමට පොළඹවන සාධකයක්ද වනු ඇත. තවද, නීත්‍යානුකූලව මුදල් ප්‍රේෂණය කිරීම මගින්, බදු ප්‍රතිලාභ ඇතුළුව විදේශ මුදල් ප්‍රේෂණ සම්බන්ධ සියලු වරප්‍රසාද භුක්ති විඳීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබේ.

අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ වර්ධනය කරගැනීම යනු, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් හිමිවන සාධකයකි. අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා විවිධ ප්‍රතිලාභ පිරිනමන වැඩසටහනක් මුලින්ම දියත් කළේ DFCC බැංකුව වන අතර, එය ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් හා ආයතන වලටද ආදර්ශයක් විය. විවිධ කාණ්ඩ වලට අයත් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගනිමින්, නීත්‍යානුකූල අභ්‍යන්තර විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමට DFCC බැංකුව අඛණ්ඩව කටයුතු කරයි. DFCC බැංකුව සහ CDB ආයතනය මෙවැනි හවුල්කාරීත්වයකට එළඹීම යනු, තම ආදරණීයයන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවට නිතිපතා විදේශ මුදල් එවන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශිෂ්ට තලයේ සේවාවක් පිරිනැමීම සඳහා ගත් සුවිශේෂී පියවරකි.

ඡායාරූපය:
DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්

වමේ සිට: CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක ලක්ෂිත මධුරංග, DFCC බැංකුවේ සහකාර උප සභාපති (ප්‍රේෂණ) ක්‍රිස්ටි මරියදාසන්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු සේවා, මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී) ඇන්ටන් ආරුමුගම්, DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර, CDB සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් හා ව්‍යාපාර සංවර්ධන) සසීන්ද්‍ර මුණසිංහ, CDB සමාගමේ අධ්‍යක්ෂ (ආයතනික මූල්‍ය) රොෂාන් අබේගුණවර්ධන සහ CDB සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් ප්‍රේෂණ) අශාඩ් වීරබංස යන මහත්වරුන්

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

CDB සමාගම පිළිබඳව

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) යනු මෙරට විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන අතරින් එකකි. ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදනයට නැඹුරු සමාගමක් ලෙස සැලකෙන එය, තිරසාරත්වය, ආදර්ශමත් ආයතනික පාලනය, වගවීම සහ විනිවිදභාවය යන ගුණාංග වලට මුල්තැන දෙයි. පුළුල් මට්ටමේ තාක්ෂණික නවෝත්පාදනයන් සහ නවීනතම මූල්‍ය විසඳුම් ඔස්සේ මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදුකිරීම සම්බන්ධයෙන් CDB සමාගම විශාල කීර්තියක් දිනා ඇත.