CDB අනුග්‍රහයෙන් රු. මිලියන 10 ක වියදමින් ඉදිකෙරෙනශ්‍රී ලංකා යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණයේ ප්‍රථම අදියර අවසන්

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය. මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කරන ලද අතර, එම මුදල මෙම පුහුණු පාසලේ නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදි.

2020 වසරේ රට පුරා කොවිඩ් වසංගතය උත්සන්න වී තිබු කාලසීමාවේදී, CDB සමාගම තම ආයතනික වගකීමක් වශයෙන් කොවිඩ් පාලන ජාතික ක්‍රියාන්විතයට සහයෝගයක් වෙමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය. එම අවස්ථාවේදී පැවති අවශ්‍යතාව අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, අද වනවිට එය මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලට ඇතුළත් වන සිසුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. කෙසේ වුවද මෙම මධ්‍යස්ථානය තුළ පවතින පහසුකම් නිසා, රටට අවශ්‍ය ඕනෑම මොහොතකදී එය උතුරු මැද පළාතේ ජනතාව සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට කඩිනමින් පරිවර්තනය කළ හැකි වේ.

මේ වනවිට සම්පූර්ණ කර ඇති මුල් අදියර තුළ 64 දෙනෙකුට නවාතැන් පහසුකම් හිමිවනු ඇති අතර, සමස්ත ගොඩනැගිලි සංකීර්ණය ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇත. මෙහි බිම් මහල පසුගියදා එම මධ්‍යස්ථානයේ ප්‍රධානී බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
“ජාතික මට්ටමේ අවශ්‍යතාවක් ඇති වූ විට, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කළ හැකි ජාතික සම්පතක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙනවා. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් CDB සමාගම දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” CDB හි විධායක අධ්‍යක්ෂ/ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.

CDB සමාගමේ අරමුණු නැවත සනාථ කරමින් අදහස් දැක්වූ බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා “කොවිඩ් -19 වසංගතය පැතිරයමින් තිබු කාලසීමාවකදී ආරම්භ වූ මෙම ඉදිකිරිම් කටයුතු නොකඩවා සිදු කරගෙන යාමට CDB සමාගම සෑම විටම කැප වූ බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. වසංගත තත්ත්වය තුළදී මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරෝධායන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කරන අතරම අනෙක් ඕනෑම කාලයකදී එය යුද්ධ හමුදා පුහුණුව ලබන ආධුනික සෙබළුන් බොහෝ දෙනෙකුට ළෙන්ගතු නවාතැනක් බවට පත්වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසී ය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසලේ සියලුම නිලයන්ට අයත් යුද්ධ හමුදා නිලධාරීන් මෙය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අතර, උත්සවය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.

maduru oya