CDB සමාගමේ තිරසාර න්‍යායපත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින් කඩොලාන සංරක්ෂණය උදෙසා පෙරමුණ ගනියි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය සහ බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (Biodiversity Sri Lanka) සමගින් හවුල්කාරීත්ව ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදු විය. CDB සමාගමේ ව්‍යාපාර ක්‍රමෝපාය තුළ තිරසාරත්ව න්‍යායපත්‍රය සහ නවීන තාක්ෂණය සඳහා ප්‍රමුඛතම අවධානයක් යොමු කෙරෙන අතර ඒ අතුරින් තිරසාරත්වය යටතේ ජෛව විවිධත්වය සුරැකීමට සමාගම ගන්නා උත්සාහය තව දුරටත් ශක්තිමත් කරමින් කඩොලාන සංරක්ෂණය සඳහා සමාගම සිය දායකත්වය ලබා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ තිරසාරත්ව සංවර්ධන ඉලක්ක 17 අතරින් 7 කට ඉලක්කගත ආකාරයට CDB සමාගමේ තිරසාරත්ව න්‍යායපත්‍රය සැලසුම් කර ඇත. ඒ අනුව, සමාගම තිරසාරත්වය වෙනුවෙන් දරන කැපවීම් යටතේ සංරක්ෂණය සහ ජෛව විවිධත්වය වැදගත් සාධකයක් ලෙස සලකන අතර කඩොලාන සංරක්ෂණය එහි අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන සිටී.

මෙහිදී, CDB සමාගම කළුතර ඉත්තෑපාන ප්‍රදේශයේ කඩොලාන සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන සහ පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය සමඟ හවුල්කාරී ගිවිසුමකට එළැබෙන ලදී. දිවයිනේ බරපතළම ලෙස තර්ජනයට ලක් වී ඇති කඩොලාන පරිසර පද්ධති වලින් එකක් ලෙස සැලකෙන ඉත්තෑපාන – හොරවල තොටුපළ කඩොලාන වනාන්තරය ඉතා කඩිනමින් සංරක්ෂණය කළ යුතු තත්ත්වයක් පවතී. ගංවතුර උවදුරු පාලනය කිරීමට සහ භූගත ජලය ප්‍රතිස්ථාපනයට මහඟු කාර්යභාරයක් ඉටුකරන එම කඩොලාන වනාන්තරය මසුන් සඳහා අභිජනන භූමියක් ලෙසද ක්‍රියාකරයි. ජෛව විවිධත්වයෙන් අනූන එය කාබන් ග්‍රහණය සඳහාද අතිශයින් වැදගත් වේ. එමෙන්ම එය ඉත්තෑපාන සහ හොරවල ප්‍රදේශ වල මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයටද යහපත් දායකත්වයක් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ රැම්සාර් තෙත්බිම් 6 අතරින් එකක් වන ආනවිලුන්දාව රක්ෂිතය හෙක්ටයාර 1,397 ක් පුරා විහිදී පවතී. කඩොලාන පද්ධති, වෙරළබඩ කරදිය පරිසර පද්ධති සහ මිරිදිය විල් ඇතුළු වනාන්තර තෙත්බිම් වර්ග ඊට ඇතුළත් වන අතර වඳවීමේ තර්ජනයට ලක් වී ඇති මත්ස්‍ය විශේෂ, උභයජීවීන්, ක්ෂීරපායින්, උරගයින් සහ පක්ෂීන් ඇතුළු ජීවීන් වර්ග රාශියකට එය වාසස්ථානයක් වේ. මෙහි හෙක්ටයාර 1 ක ප්‍රදේශයක කඩොලාන සංරක්ෂණය කිරීමේ අරමුණින්, CDB සමාගම විසින් බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමග එක්වී 2022 පෙබරවාරි 08 දින “Life to our Mangroves” ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙය ආනවිලුන්දාව තෙත් බිම ආශ්‍රිතව වෙසෙන ජනතාවටද සමාජයීය හා ආර්ථික ප්‍රතිලාභ හිමිවන සුවිශේෂී ව්‍යාපෘතියකි.

ඒ අනුව, කළුතර ඉත්තෑපාන ප්‍රදේශයේ කඩොලාන සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා CDB සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන සහ පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය විසින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.

වමේ සිට: CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර, විධායක අධ්‍යක්ෂ/ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සහ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රියාන් පෙරේරා යන මහත්වරුන් 

තවද, ආනවිලුන්දාව රක්ෂිතයේ කඩොලාන සංරක්ෂණය කිරීම සඳහා CDB සමාගම සහ බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා අතර විශේෂ ගිවිසුමකට 2022 පෙබරවාරි 08 දින අත්සන් තැබිණි.

වමේ සිට: CDB සමාගමේ විධායක අධ්‍යක්ෂ/ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා සහ බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී දිල්හාන් සී. ප්‍රනාන්දු මහතා ගිවිසුම අතැතිව.