සුරක්ෂිත ලෙස CDB ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කිරීම සඳහා උපදෙස්

ඔබේ CDB ක්‍රෙඩිට් කාඩ්පතේ ආරක්ෂාව

ඔබ සහ ඔබගේ කාඩ්පත් වංචාවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අපි හැකි සෑම පියවරක්ම ගන්නෙමු. මේ සඳහා වංචා හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, සතියේ සෑම දිනකම පැය 24 පුරා වංචා නිරීක්ෂණ කණ්ඩායමක්ද ක්‍රියාත්මක වේ. ඔබගේ ගිණුමේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් සිදුවේ නම් ඒවා හඳුනා ගැනීමට CDB වංචා නිරීක්ෂණ වැඩපිළිවෙළට හැකියාව ඇත.

පාරිභෝගික සහය

ශ්‍රී ලංකාවේදී හෝ විදේශ රටකදී ඔබගේ කාඩ්පත අස්ථානගත වීමක් හෝ සොරාගනු ලැබීමක් සිදු වූයේ නම්, එය වාර්තා කිරීමට අපගේ පාරිභෝගික සහය සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක වී පවතී. ගැටලුවකදී හැකි ඉක්මනින් 011 7 121 121 (Platinum / World) හෝ 011 7 121 122 (Standard / Gold/ Titanium) අමතන්න. අපගේ කාර්ය මණ්ඩලය වහාම කාඩ්පත/කාඩ්පත් අවලංගු කර ඒ වෙනුවට අලුත් කාඩ්පතක්/කාඩ්පත් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

චිප් තාක්ෂණය

චිප් කාඩ්පත් යනු මයික්‍රෝචිප් යොදා නිෂ්පාදනය කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් ය. මෙම කාඩ්පත් වල සුරක්ෂිත ලෙස රහසිගත තොරතුරු ඇතුළත් කළ හැකි නිසා ඒවා චුම්බක තීරු කාඩ්පත් වලට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදෙයි.

සියලුම අලෙවිසැල් චිප් කාඩ්පත් සහ චුම්බක තීරු කාඩ්පත් යන වර්ග දෙකම භාරගනියි. චිප් කාඩ්පතක් ගෙවීම් සඳහා භාවිතා කරන ආකාරය චුම්බක තීරු කාඩ්පතක් භාවිතා කරන ආකාරයට සමාන ය. චිප් කාඩ්පත භාවිතා කරන විට අලෙවිසැල් විසින් එම කාඩ්පත් ස්වයිප් කිරීම වෙනුවට අදාළ යන්ත්‍රයට ඇතුළු කරනු ලැබේ. යන්ත්‍රයෙන් විකුණුම් පත්‍රිකාව මුද්‍රණය වන තුරු අයකැමි එය යන්ත්‍රය තුළ රඳවා තබාගනී. චිප් තාක්ෂණය භාවිතා නොකරන අලෙවිසැල් කාඩ්පත් ස්වයිප් කිරීම පමණක් සිදුකරනු ඇත. මෙම අවස්ථා දෙකේදීම ඔබට ගනුදෙනුවට අදාළ විකුණුම් පත්‍රිකාව මත අත්සන් තැබීමට සිදු වේ.

මතක තබාගත යුතු කරුණු

  • ඔබ සතු කාඩ්පත කල් ඉකුත් වීමට සතියකට පෙර නව කාඩ්පත ඔබ වෙත නොලැබුණේ නම් අප වෙත ඒ බව දන්වන්න.
  • නව කාඩ්පත සක්‍රීය කරගත් වහාම පැරණි කාඩ්පත විනාශ කරන්න (කැබලි වලට කපන්න.)
  • නව කාඩ්පත ඇතුළත් බහාලුම ඔබ වෙත ලැබෙන අවස්ථාවේදී එය මැනැවින් මුද්‍රා තබා ඇති බව තහවුරු කරගන්න. එසේ නොමැති නම් වහාම අප වෙත දැනුම් දෙන්න.
  • ඔබ විදේශ රටක සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ ඉහළ වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් කරුණාකර කල්තබා ඒ බව අප වෙත දැනුම් දෙන්න.
  • ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ප්‍රකාශයේ සඳහන් සෑම ගනුදෙනුවක්ම පරීක්ෂා කරන්න. සියලුම ගනුදෙනු වලට අදාළව නිවැරදි මිලගණන් සටහන් වී තිබේද යන්න සහ අනවසර ගනුදෙනු කිසිවක් නොමැති බව තහවුරු කරගන්න. කිසියම් විෂමතාවක් ඇත්නම්, ඒ බව වහාම CDB කාඩ්පත් මධ්‍යස්ථානය වෙත වාර්තා කරන්න.
  • අලෙවිසැල් වලදී කාඩ්පත භාවිතයෙන් ගෙවීම් සිදුකරන විට හැකි නම් කාඩ්පත ඔබට නොපෙනන ස්ථානයක් වෙත ගෙනයනු ලැබීමට ඉඩ නොතැබීමට උත්සාහ කරන්න.
  • මාසික ගිණුම් ප්‍රකාශය ඔබ වෙත නොලැබුණේ නම්, ඒ බව CDB වෙත වාර්තා කරන්න.
  • වෙනත් කෙනෙකුට ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමට අවස්ථාව ලබා නොදෙන්න. ඔබගේ පවුලේ සාමාජිකයෙකු (සැමියා, බිරිඳ, දරුවන්, දෙමාපියන්) ඔබගේ අවසරය ඇතිව හෝ නැතිව කාඩ්පත රැගෙන ගිය අවස්ථාවකදී එය භාවිතයෙන් සිදුවන ඕනෑම ගනුදෙනුවකට කාඩ්පත් හිමියා ලෙස ඔබ වගකිව යුතු වේ.

රහස්‍ය අංකය (PIN) ආරක්ෂා කරගැනීම

ඔබේ PIN අංකය ඔබට පමණක් අයිති අංකයකි. ඔබගේ ගිණුමට සම්බන්ධ තවත් කාඩ්පත් හිමියන් සිටී නම්, ඔවුන්ට වෙනම PIN අංක හිමි වේ. ඔබගේ PIN අංකය ආරක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න.

  • ඔබේ PIN අංකය මතක තබාගන්න. ඔබට එය වඩාත් හොඳින් මතක සිටින අංකයකට මාරු කරගැනීමට අවශ්‍ය නම්, අපගේ ATM යන්ත්‍ර හෝ කොමර්ෂල් ATM යන්ත්‍ර භාවිතයෙන් එය සිදුකළ හැකි වේ.
  • PIN අංකය මාරු කිරීමේදී 1234 සහ 1111 වැනි, අනුමාන කිරීමට පහසු අංක තෝරාගැනීමෙන් වළකින්න.
  • ATM යන්ත්‍රය භාවිතා කිරීමේදී ඔබ ඇතුළත් කරන PIN අංකය වෙනත් අයට නොපෙනෙන ආකාරයට අංක පුවරුවට සමීපව සිටගන්න.
  • PIN අංකය හෝ රහස්‍ය තොරතුරු ලියා තබාගැනීමෙන් හෝ වෙනත් අයට හෙළි කිරීමෙන් වළකින්න.
  • ගනුදෙනුවක් සඳහා ඔබ වෙනුවෙන් වෙනත් අයෙකුට PIN අංකය ඇතුළු කිරීමට ඉඩ නොදෙන්න.
  • PIN අංකය සහ එය දැනුම් දෙමින් ඔබ වෙත එවන ලද ලිපිය ඔබගේ පසුම්බියේ එකට තබාගැනීමෙන් වළකින්න.
  • ඔබගේ PIN අංකය අමතක වූයේ නම් හෝ අස්ථානගත වූයේ නම් අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතා නව PIN අංකයක් ඉල්ලා සිටිය හැක.
  • දුරකථනයෙන්, තැපැල් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේදී PIN අංකය අනාවරණය කිරීමෙන් වළකින්න.
  • ඔබගේ PIN අංකය කලින් කලට මාරු කිරීමට අමතක නොකරන්න.

වැඩිදුර උපදෙස්

මෙරට හෝ විදේශ රටක MasterCard ලාංඡනය සඳහන් ඕනෑම ATM යන්ත්‍රයකින් (ඔබගේ කාඩ්පතේ වර්ගය අනුව) මුදල් ලබාගත හැකි වේ.

  • ඔබේ ගනුදෙනුව අවසන් වූ පසු, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පරිශ්‍රයෙන් පිටවීමට පෙර ඔබේ මුදල් සහ කාඩ්පත ඉක්මනින් ආරක්ෂා කර ගන්න.
  • ATM යන්ත්‍රයෙන් ලැබුණු මුදල් ගණන් කර, නිවැරදි මුදල ලැබී ඇති බව තහවුරු කර ගන්න.
  • ගනුදෙනුව අවසන් වූ පසුව කාඩ්පත යන්ත්‍රයෙන් ආපසු නොලැබේ නම්, නැවත PIN අංකය ඇතුළු කිරීමෙන් වළකින්න. වහාම ඒ බව CDB වෙත දැනුම් දෙන්න.
  • අමුත්තන්ගෙන් සහය ලබා ගැනීමෙන් හෝ අමුත්තන්ට ඔබගේ අවධානය බිඳීමට ඉඩ දීමෙන් වළකින්න.
  • ATM යන්ත්‍රය භාවිතා කිරීමේදී පරීක්ෂාකාරී වන්න. යන්ත්‍රය සැකකටයුතු බවක් හෝ හානි වී ඇති බවක් පෙනේ නම්, ඒ බව CDB වෙත වාර්තා කරන්න. ඔබගේ අවශ්‍යතාව සඳහා වෙනත් ATM යන්ත්‍රයක් භාවිතා කරන්න.
  • ගනුදෙනුවේ රිසිට් පත ඉවත දැමීමේදී එය කුඩා කැබලි වලට ඉරා ඉවත දමන්න.

සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කිරීම

ඔබ වංචාකාරී ක්‍රියාවලින් ආරක්ෂා කිරීම සඳහා අපි හැකි සෑම පියවරක්ම ගන්නෙමු. ඔබගේ කාඩ්පත සම්බන්ධයෙන් සැකකටයුතු යමක් අපට නිරීක්ෂණය වුවහොත්, අප හැකි ඉක්මනින් ඔබ සම්බන්ධ කරගත යුතු ය. එම නිසා ඔබගේ ජංගම දුරකථන අංකය නිවැරදිව අප වෙත ලබාදෙන්න. දුරකථන අංකයෙහි වෙනසක් සිදුවුවහොත් හැකි ඉක්මනින් අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතා ඒ බව දැනුම් දෙන්න.

විදේශ රටකදී ඔබගේ කාඩ්පත ආරක්ෂා කරගැනීම

ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර

  • සෑම විටම ගෙවීම් කිරීම සඳහා ක්‍රම කිහිපයක් තබාගන්න (උදා: CDB ඩෙබිට් කාඩ්පතක් සහ CDB ක්‍රෙඩිට් කාඩ්පතක්).
  • වංචාකාරී ක්‍රියා වලින් ඔබ ආරක්ෂා කිරීම සඳහා අප විසින් ඔබගේ කාඩ්පත භාවිතයෙන් කරන ගනුදෙනු නිරීක්ෂණය කරනු ලැබේ. ඔබ විදේශ රටක සංචාරය කරන්නේ නම් ඒ බව අප වෙත දැනුම් දෙන්න. එමගින් ඔබගේ ගනුදෙනු වලට බාධා වීම හෝ ප්‍රතික්ෂේප වීම අවම වනු ඇත. කෙසේ වුවද මෙය සියයට සියයක් සහතික කළ හැකි නොවේ.
  • ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර CDB ආයතනයේ සම්බන්ධතා තොරතුරු සටහන් කර තබාගන්න. මෙමගින් හදිසි අවස්ථාවකදී අප හා සම්බන්ධ වීම වඩාත් පහසු වේ.

 

විදේශ සංචාරයක් අතරතුර

  • ඔබගේ කාඩ්පත තැන් තැන්වල දමා නොයන්න. මුදල් ප්‍රවේශම් කරන ආකාරයටම එය ප්‍රවේශම් කරගන්න.
  • කාඩ්පත අස්ථානගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත් වහාම අමතන්න: 011 7 121 121 (Platinum / World), 011 7 121 122 (Standard / Gold/ Titanium).
  • ATM යන්ත්‍ර භාවිතයේදී ප්‍රවේශම් වන්න. සෑම විටම PIN අංකය ආරක්ෂා කරගන්න.
  • අලෙවිසැල් වලදී ඔබ ඉදිරියේ කාඩ්පත ස්වයිප් කරන බව තහවුරු කරගන්න.
  • වංචාකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා ඔබගේ විදේශ ගනුදෙනු නිරීක්ෂණය කෙරේ. ඒ යටතේ විදේශ ගනුදෙනු සම්බන්ධයෙන් අප විසින් වරින්වර පරීක්ෂාවන් සිදුකෙරෙනු ඇත. මෙහිදී ඔබට යම් අපහසුතාවක් ඇති වේ නම් ඒ පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.
  • ශ්‍රී ලංකාවට පැමිණි පසුව, ඔබගේ ගිණුම් ප්‍රකාශයේ සඳහන් ගනුදෙනු හොඳින් පරීක්ෂා කරන්න. අනපේක්ෂිත හෝ වැරදි තොරතුරු ඇතුළත් වන්නේ නම්, ඔබගේ කාඩ්පතේ වර්ගයට අදාළ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ වහාම ඒ බව අප වෙත දැනුම් දෙන්න.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගනුදෙනු වලදී ඔබගේ කාඩ්පත ප්‍රවේශම් කරගැනීම

  • ඔබගේ මාර්ගගත ගනුදෙනු වඩාත් සුරක්ෂිත කිරීම සඳහා Visa හෝ Mastercard රහස්‍ය කේතයක් මගින් තහවුරු කිරීමේ සේවාවට ලියාපදිංචි වන්න.
  • ගනුදෙනුව සිදුකිරීමේදී, කාඩ්පත පසුපස අත්සන යොදන ස්ථානය ආසන්නයේ සඳහන් කර ඇති අංකයේ අවසන් ඉලක්කම් තුන ඇතුළත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනු ඇත. මෙම අංකය ඔබගේ කාඩ්පතට විශේෂ වන අතර, එය අතිරේක ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස ක්‍රියාකරයි.
  • ඔබගේ සම්පූර්ණ කාඩ්පත් අංකය, කල් ඉකුත් වීමේ දිනය හෝ CVV අගය කිසිවෙකුටත් අනාවරණය කිරීමෙන් වළකින්න.
  • බැංකු හෝ භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවි වෙත පිවිසීමේදී සෑම විටම අදාළ වෙබ් අඩවියේ ලිපිනය ටයිප් කරන්න. කිසිදු අවස්ථාවක ඊමේල් හරහා ලැබෙන සබැඳි (Links) භාවිතා කිරීමෙන් වළකින්න.
  • ඔබගේ පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය සහ වෛරස් වැළැක්වීමේ මෘදුකාංග නිසි පරිදි යාවත්කාලීන කර තබාගන්න.
  • ඔබගේ පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු ඉල්ලා සිටින ඊමේල් වලට පිළිතුරු දීමෙන් වළකින්න. CDB විසින් එවනු ලබන ආකාරයට එවා ඇති ඊමේල් ලිපියක් සම්බන්ධයෙන් කිසියම් සැකයක් ඇත්නම් එය වහාම cards.customercare@cdb.lk. වෙත යොමුකරන්න.