CDB සාමාගම CodeGen සමග එක් වී තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමට පියවර ගනී

මෙරට හරිත ආර්ථිකය දියුණු කිරීමට දායක වීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) පසුගියදා e Shift Concept Center නිල වශයෙන් ආරම්භ කළේ ය. මෙය CDB තිරසාරත්ව න්‍යායපත්‍රයේ Net Zero අංශය යටතේ තිරසාර ප්‍රවාහන විසඳුම් ශක්තිමත් කිරීමේ උත්සාහයේ තවත් පියවරකි. මේ සඳහා CodeGen International (Pvt) Ltd සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට CDB සමාගම පියවර ගත් අතර, CDB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා සහ CodeGen සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා විසින් එම ගිවිසුමට අත්සන් තබන ලදී.

සිය තිරසාර න්‍යායපත්‍රයේ කොටසක් වශයෙන් CDB සමාගම දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක් වී, ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන සහ සූර්ය බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘Haritha Coalition’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කළේ ය. e Shift concept center යනු එහි තවත් එක් පියවරකි. e Shift concept center හි ඇති ආරෝපණ මධ්‍යස්ථාන බලගන්වන CodeGen යටතේ තිබෙන chargeNET, මෙහි මුලපිරීමේ හවුල්කරුවෙකි. මෙමගින් සාමාන්‍ය වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමට මෙන්ම ඒ සම්බන්ධව දැනුම හුවමාරු කරගැනීමටත්, විදුලි වාහන ආරෝපණය කිරීමටත් අවස්ථාව සැලසෙන පූර්ණ පහසුකම් පද්ධතියක් නිර්මාණයවනු ඇත.

කොළඹ 07 ග්‍රීන් පාත්හි පිහිටා ඇති e Shift Concept Center මගින් විදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඒ පිළිබඳව තොරතුරු ලබාදීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමද සිදුකිරීමට නියමිත ය. මෙය පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සඳහා මෙම මධ්‍යස්ථානය තුළ අතිනවීන විදුලි වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ස්ථාපිත කර ඇත. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ මිලියනයකට වැඩි ගණනක් ධාවනයවන අතර, ඒ සියල්ල ධාවනය වනුයේ පොසිල ඉන්ධන මගිනි. මීට විසඳුමක් වශයෙන් මෙම ත්‍රීරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමට දෙපාර්ශ්වය බලාපොරොත්තු වෙයි.

සූර්ය බලශක්තිය මගින් බලගැන්වෙන මෙම මධ්‍යස්ථානය තුළ වාහන පරිවර්තනය කිරීමේ අංගන දෙකක් සහ ආරෝපණ ස්ථාන 07 ක් පවතින අතර, ඒ අතරින් ආරෝපණ ස්ථාන දෙකක් ත්‍රිරෝද රථ සඳහාම වෙන්වුණු වේගවත් ආරෝපණ (fast chargers) ස්ථානවේ. ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ සඳහාම වෙන්වුණු වේගවත් ආරෝපණ (fast chargers)  ස්ථානස්ථාපිත වන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි. මීට අමතරව වෙනත් විදුලි වාහන සඳහාද මෙහි වාහන නවතා තැබීමේ පහසුකම් වෙන්කර තිබේ.

CDB තිරසාර න්‍යායපත්‍රයේ Net Zero අංශය ඔස්සේ තිරසාර ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් මහේෂ් නානායක්කාර මහතා මෙසේ අදහස් පළකළේ ය. “වගකීම්සහගත සමාගමක් වශයෙන් විදුලි වාහන සහ ඒ සම්බන්ධ යටිතල පහසුකම් මෙන්ම ඒ පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීමට අප කැප වී සිටිනවා. රට තුළ ධාවනයවන ත්‍රිරෝද රථ මිලියනයකට අධික සංඛ්‍යාව මගින් සිදුවන පරිසර දූෂණය, තෙල් කාන්දු වීම් සහ ශබ්ද දූෂණය සුළුපටු නැහැ. මෙය රියදුරන්ගේ සහ මගීන්ගේ සෞඛ්‍යයට මෙන්ම දේශගුණික විපර්යාසවලටත් දැඩි බලපෑමක් ඇති කරනවා. එම නිසා මෙම වැඩසටහන රටට සුවිශාල යහපතක් සිදුකරන වැඩසටහනක් වේවි.”

“සාමාන්‍ය වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමේදී වැයවන වියදම්, ගෙවිය යුතු බදු ආදිය මෙන්ම ඒ සඳහා පාරිභෝගිකයන් එකඟ කරවා ගැනීමේ දුෂ්කරතාව වැනි අභියෝග රාශියක් තිබෙනවා. එහෙත් ලොවපුරා සිටින සමාන ආකල්ප දරන පුද්ගලයන් සහ සමාගම් සමග එක්ව කටයුතු කිරීම තුළින් මෙම ගැටලුවලට විසඳුම් සොයාගත හැකි බව අප විශ්වාස කරනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස යනු තවදුරටත් ගෝලීය ආපදාවක් පමණක් නොවෙයි. මෙය වහාම විසඳුම් සෙවිය යුතු හදිසි තත්ත්වයක් බවට පත් වී අවසන්” නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා මෙසේ අදහස් පළකළේ ය. “ත්‍රිරෝද රථ කර්මාන්තයේ පෙරළියක් සිදුකරන අතරම විදුලි වාහනවලින් බලගැන්වුණු තිරසාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පළමු පියවර තැබීමට අප සූදානම්. විදුලි වාහන පිළිබඳව දැනුවත් කිරීම, වාහන පරිවර්තනය කිරීම සහ ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීම ඔස්සේ අප සෙමෙන් සෙමෙන් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලියෙන් බලගන්වමින් සිටිනවා. අප හුදෙක් නවෝත්පාදකයන් පමණක් නොව, වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක පුරෝගාමීන් ලෙස හැඳින්වීමට පුළුවන්.”