CDB, ‘Dare to Dream’ සම්මාන උළෙලේදී වසරේ හොඳම නවෝත්පාදන සමාගම ලෙස සම්මාන දිනයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ‘Dare to Dream Awards 2023 Sri Lanka’ සම්මාන උළෙලේදී වසරේ හොදම නවෝත්පාදන සමාගම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SAP සහ John Keells IT එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීම වෙනුවෙන් CDB සමාගමට මෙම සම්මානය හිමි විය.

නවෝත්පාදනය සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙරට ආර්ථිකයේ පුනර්ජීවනය උදෙසා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ පුරෝගාමී සමාගම් හා පුද්ගලයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය. ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සලකා බලන ලද අතර, එහිදී නාමයෝජනා ලැබූවන් නවීන තාක්ෂණය භාවිතයට ගෙන ඇති ආකාරය සහ, මෑතකාලීනව ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අභියෝග හමුවේ එම තාක්ෂණයන් මගින් ඉටු වූ මෙහෙවර වැනි සාධක රාශියක් සැලකිල්ලට ගන්නා ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, CDB සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේව් ද සිල්වා මහතා කියා සිටියේ, මෙම සම්මානය හිමිවීම සමාගම ලැබූ විශාල ගෞරවයක් බවයි. “අපගේ කාර්ය මණ්ඩලය කෙතරම් කැපවීමකින් යුතුව තම රාජකාරිය ඉටුකරන්නේද යන්න මෙමගින් නැවත වරක් තහවුරු වෙනවා. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකළ නවීන තාක්ෂණයන් රැසක් මෙරටට හඳුන්වා දීමට ඔවුන් සුවිශාල කාර්යභාරයක් ඉටුකළා. මෙවැනි සම්මාන, නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමට අප තවදුරටත් දිරිගන්වනවා. අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ටත්, ඉමහත් කැපවීමෙන් යුතුව රාජකාරි කිරීම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලයටත් ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ඩේව් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.

තම ක්‍රියාවලි වඩාත් සරල හා පහසු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට CDB සමාගම සෑම විටම උත්සාහ දරයි. උදාහරණයක් ලෙස, ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම සඳහා ඩිජිටල් ක්‍රමයට ආකෘති පත්‍ර පිරවීම සහ Optical Character Recognition (OCR) හා Intelligent Character Recognition (ICR) හරහා Robotic Process Automation (RPA) භාවිතයෙන් දත්ත ඇතුළත් කිරීම වැනි ක්‍රම මේ වනවිට භාවිතයට ගෙන ඇත.

ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම, ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීම, ඩෙබිට් කාඩ්පත් නිකුත් කිරීම, Application Programming Interface (API) හරහා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා පරීක්ෂා කිරීම, ඩිජිටල් ආකෘති පත්‍ර පිරවීම හරහා ලේඛන ගොනු ඉදිරිපත් කිරීම, Enterprise Resource Planning (ERP) හරහා ණය පහසුකම් අනුමත කිරීම, ණය පහසුකම් සඳහා ඉදිරිපත් වන ඉල්ලීම් අතරින් 80% ක් සම්බන්ධයෙන් ස්වයංක්‍රීයව තීරණ ලබාදීම සහ ශාඛා ජාලය භාවිතා කිරීමෙන් තොරව ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක ගනුදෙනුකරුවන් වෙත ඩිජිටල් ඇණවුම් භාරදීම ආදියද මේ වනවිට CDB සමාගම තුළ නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුකෙරේ.

මෙවැනි සම්මාන හා ඇගයුම් වලින් පන්නරය ලබමින් CDB සමාගම, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළිකාරී වෙනස්කම් සිදුකිරීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයනු ඇත.

ඡායාරූපය: (වමේ සිට) SAP ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මධ්‍යම වෙළඳපොළ – SAP ඉන්දියානු අර්ධද්වීපය) අමිත් කපූර්, CDB සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේව් ද සිල්වා, එම සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු පද්ධති) රිස්වි කරීම් සහ John Keells IT සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නියෝමාල් පෙරේරා යන මහත්වරුන්