ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණෙන්, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC), CDB වෙත ඩොලර් මිලියන 30 ක ණය මුදලක්

• DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, කාන්තා ව්‍යවසායකයින්, තිරසර මූල්‍යයනය සහ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා සහයෝගය ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
• DFC ප්‍රධාන විධායක නිලධාරී සහ CDB අතර අත්සන් තැබුණු ගිවිසුම මගින්, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස CDB ආයතනය හිමිකරගෙන තිබෙන කීර්ති නාමය තවදුරටත් තහවුරු කෙරේ.

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා නොවැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ නිල සංචාරයක නිරත විය. එහිදී කාන්තා ව්‍යවසායකයින්, තිරසර මූල්‍යකරණය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා සහයෝගය ලබාදීමේ අරමුණෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය වෙත එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ඩොලර් මිලියන 30 ක ණය මුදලක් නිවේදනය කරන ලදී.

DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා සහ CDB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී එම ගිවිසුමට අත්සන් තැබුවේය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා බලගැන්වීම උදෙසා එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාබ්‍රියෙල් ග්‍රවු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

CDB ආයතනයේ ආයතනික ගමන්මග වෙනුවෙන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් එම ආයතනයට මෙවැනි කැපීපෙනෙන මූල්‍ය පහසුකමක් හිමි වූයේ ප්‍රථම වරටය. මෙරට ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, අරමුදල් සම්පාදනය කරන ආයතන විසින් CDB ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසයට සහ එම ආයතනය ස්ථාවරත්වය, පාලනය සහ තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීමට මෙම ණය පහසුකම මනා සාක්ෂ්‍ය සපයයි. Emerging Markets Global Advisory LLP මෙම ගනුදෙනුව සඳහා උපදේශක සහ ව්‍යුහාත්මක නියෝජිතයා ලෙස කටයුතු කරන ලදී.

“DFC යනු, කුඩා පරිමාණ ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයින් හට තිරසර මූල්‍යයන පහසුකම් සපයන මූල්‍ය සංස්ථාවකි. CDB ආයතනය විශිෂ්ට හවුල්කරුවෙකුවන අතර, අපගේ සහයෝගය මගින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණුකර ගැනීමටත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම ප්‍රවර්ධනය කිරීමටත් හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන කොටස්කරුවන්වන දේශීය ව්‍යවසායකයන්ට සහය වෙමින් ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට එක්සත් ජනපදය කැපවී සිටින බව මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර සිටියා ය. USAID සමඟ සහයෝගීතාවයෙන් DFC සහ CDB අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම මගින් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා සෘජුවම ප්‍රතිලාභ ලබා දෙමින් ලාංකේය ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර සාර්ථක කරගැනීමට අවශ්‍යය ප්‍රාග්ධන ප්‍රවේශ සපයන බවත්, එය දිගුකාලීන වශයෙන් ලංකාවේ වඩාත් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට උපකාර වනු ඇති බවත් ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

USAID ආයතනයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාබ්‍රියෙල් ග්‍රවු මහතා, “මෙම ණය පහසුකම් භාවිත කිරීම සඳහා CDB ආයතනය සතු පුළුල් දැක්ම මගින් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක රැසක් ළඟාකර ගැනීමට මගපාදනු ඇත. එමෙන්ම, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව වර්ධනය කරන, ශක්තිමත් හා අභියෝගවලට මුහුණ දිය හැකි ප්‍රජාව බිහිකරන තිරසර ආර්ථික වර්ධනය යතාර්ථයක් බවට පත් කරමින් කාන්තා ව්‍යවසායකයින් සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බලගැන්වීම මෙම ණය පහසුකමේ වැදගත්ම ඉලක්කයකි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය සවිබල ගන්වමින්, කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා CDB ආයතනය සමග සිදු කෙරෙන මෙම ආයෝජනය පිළිබඳ USAID ආයතනය ආඩම්බර වනවා.” යැයි පැවසීය.
USAID ආයතනය විසින් පහසුකම් සලසනු ලැබූ මෙම ණය පහසුකම, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත්කර ගැනීම සඳහා නාගරික අරමුදල් සම්පාදනය සහ ග්‍රාමීය ණය පහසුකම් සම්පාදනය වෙනුවෙන් CDB ආයතනය ලබා දෙන සහයෝගය තවදුරටත් බලගන්වනු ඇත. කාන්තාවන් සවිබලගැන්වීමේ සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයේ වැදගත්කම අවධාරණය කරන මෙම ව්‍යාපෘතිය, “No Poverty” සහ “Zero Hunger” යන තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සවිබලගැන්වීම හරහා තිරසර ප්‍රජාව ගොඩනැගීමට ඇති බාධක අවම කිරීමට කටයුතු කරයි.

ආයතනික ගමන්මග සහ තිරසරත්වය වෙනුවෙන් CDB ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අඛණ්ඩ ඇගයුමට ලක්ව ඇති බව සඳහන් කළ මහේෂ් නානායක්කාර මහතා, DFC ණය පහසුකම යටතේ කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන බව අවධාරණය කළේය. “කාන්තා ව්‍යවසායකයින් ගෝලීය දේශගුණික ක්‍රියාකාරී සංවාදයේ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරන බැවින් අප අඛණ්ඩව ඔවුන්ට සහයෝගය ලබා දීමට කැප වනවා. නව ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබාදීම, දැනට ආරම්භකර ඇති ව්‍යාපාර පුළුල් කිරීම සහ හරිත පදනමක් යටතේ කුඩා පරිමාණ ව්‍යවසාය තවදුරටත් පුළුල් කිරීමට ප්‍රති-ආයෝජනය කිරීම ආදී ක්‍රියාමාර්ග හරහා, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වගකීම් සහගත සේවා සම්පාදකයෙකු ලෙස මෙන්ම, දිවයින පුරා මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කරන වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස ද අප අඛණ්ඩව ක්‍රියා කරනවා.

ජාතික කාබන් පියසටහන අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස වහල මත සූර්ය පැනල (rooftop solar) සවි කිරීම, විද්‍යුත් සහ දෙමුහුන් වාහන (electric and hybrid vehicles) ඇතුළු හරිත බලශක්ති ව්‍යාපෘති සහ පොසිල ඉන්ධන මගින් ධාවනයවන වාහන විද්‍යුත් වාහන (EV) බවට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමුකිරීමට CDB අපේක්ෂා කරයි. මෙය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) වෙනුවෙන් CDB හි කැපවීම පෙන්නුම් කරන අතර බලශක්ති කළමනාකරණයේ විශිෂ්ට භාවිතා සඳහා ඇති අවශ්‍යතාව ද අවධාරණය කරයි. CDB ආයතනය සිය තිිරසර න්‍යාය පත්‍රය වෙනුවෙන් මුළුමනින් ම කැපවී සිටින අතර 2030 වසරවන විට Net-Zero තත්ත්වය සහිත ආයතනයක් බවට පත්වීම ඔවුන්ගේ අරමුණයි.

විශේෂයෙන්ම වර්තමාන සාර්ව ආර්ථික අභියෝග හමුවේ මෙම නියමයන් හා කොන්දේසි වාසිදායකවන ආකාරය නානායක්කාර මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ ය. “මෙම පහසුකම CDB හි මූල්‍ය ශක්තියට සැලකිය යුතු පෙළඹවීමක් ඇති කරන අතර රටේ ආර්ථිකයට අරමුදල් ආකර්ෂණය කර ගැනීමට ද දායක වෙයි. ආයතනික ප්‍රමුඛයෙකු වශයෙන් පුළුල් දැක්මකින් යුතුව, රටටත් එහි ජනතාවටත් ප්‍රතිලාභ සැලසෙන ලෙස කටයුතු කිරීම අපගේ වගකීමයි.”

DFC පිළිබඳ

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) වර්තමානයවන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන වඩාත් තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා පුද්ගලික අංශය සමඟ හවුල්කාරීත්වයන්ට එළැඹෙන ආයතනයකි. බලශක්තිය, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ කුඩා ව්‍යාපාර සහ මූල්‍ය සේවායන අංශ හරහා ආයෝජනය කරන DFC හි ආයෝජන ඉහළ ප්‍රමිතීන්ට අනුකූලවන අතර ඒවා පරිසරය, මානව හිමිකම් සහ සේවක අයිතිවාසිකම්වලට ගරු කරන ආයතනයකි.

USAID පිළිබඳ

USAID යනු එක්සත් ජනපද රජයේ සංවර්ධන අංශය වන අතර එය ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනයකි. USAID දශක හයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සේවා සපයමින් සෞඛ්‍ය සම්පන්න, උගත්, සහ රැකියා සහිත ජනතාවක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. එක්සත් ජනපද රජය 1956 වසරේ සිට ශ්‍රී ලංකාවට සංවර්ධන සහ මානුෂීය ආධාර ලෙස රුපියල් බිලියන 600කට වැඩි මුදලක් (ඩොලර් බිලියන 02ක්) ලබා දී ඇත. USAID හි කාර්යභාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට, usaid.gov/sri-lanka වෙත පිවිස @USAIDSriLanka අනුගමනය කිරීමෙන් ලබාගත හැක.

CDB පිළිබඳ

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතර රැඳෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය තිරසරභාවය, ආදර්ශවත් ආයතනික පාලනය, වගවීම සහ විනිවිදභාවය සඳහා දැඩි කැපවීමක් ඇති, රටේ වඩාත්ම නව්‍ය මූල්‍ය ආයතනවලින් එකකි. එය දිගුකාලීන තාක්ෂණික නවෝත්පාදනයන් සහ අති නවීන මූල්‍ය විසඳුම් සමඟ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව්‍ය වෙනසක් ඇති කරමින් යාවත්කාලීනවන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැක.